සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

2. රාධ සංයුත්තය

1. පළමුවෙනි වර්ගය

5. සමණ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හිඳගත් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

“රාධය, උපාදානස්කන්ධයෝ පස්දෙනෙක් වෙති. ඒ පස කවරේද? එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි.

“රාධය, යම්කිසි ශ්‍රමණකෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනිත්ද, රාධය, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මාගේ ශ්‍රමණයන් අතරෙහි හෝ ශ්‍රමණයයි සම්මත නොවූවාහුය. බ්‍රාහ්මණයන් අතරෙහි හෝ බ්‍රාහ්මණ යයි සම්මත නොවූවාහුය.

“ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවයේ අර්ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ථය හෝ මෙලොවදීම තෙමේ විශෙෂ නුවණින් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය නොකරත්.

“රාධය, යම් ශ්‍රමණකෙනෙක් හෝ බ්‍රාහ්මණකෙනෙක් හෝ මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදයද, ආදීනවයද නිස්සරණයද තත්වූ පරිදි දනිත්ද, රාධය, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මාගේ ශ්‍රමණයන් අතුරෙහි හෝ ශ්‍රමණයයි සම්මත වූවාහුය. බ්‍රාහ්මණයන් අතුරෙහි හෝ බ්‍රාහ්මණයයි සම්මත වූවාහුය.

“ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවයේ අර්ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ථය හෝ මෙලොවදීම තෙමේ විශේෂ නුවණින් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්යයි” වදාළේය.

(පස්වෙනි සමණ සූත්‍රය නිමි.)