සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

2. රාධ සංයුත්තය

1. පළමුවෙනි වර්ගය

7. සොතාපන්න සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

“රාධය, උපාදානස්කන්ධයෝ පස් දෙනෙක් වෙති. ඒ කවරේද? එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි.

“රාධය, යම් හෙයකින් ආර්ය ශ්‍රාවකතෙමේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි දනීද, රාධය, මේ ආර්ය ශ්‍රාවකතෙමේ සෝවාන්වූයේ දුගතියට නොපැමිණීම ස්වාභාව කොට ඇති අර්හත් ඵලයට නියතවූ අර්හත් ඵලය පිහිට කොට ඇති පුද්ගලයායි කියනු ලැබේ.”

(හත්වෙනි සොතාපන්න සූත්‍රය නිමි.)