සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

2. රාධ සංයුත්තය

1. පළමුවෙනි වර්ගය

8. අරහ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හිඳ ගත්තේය. එකත්පසෙක හුන් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“රාධය, උපාදානස්කන්ධයෝ පස්දෙනෙක් වෙත්. ඒ කවරේද? එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි.

“රාධය, යම් හෙයකින් මහණතෙමේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දැන උපාදානයන් කෙරෙන් මනාකොට මිදුනේ වෙයිද, රාධය, මේ මහණතෙමේද අර්හත්වූ, ආශ්‍රවයන් ක්ෂයකළාවූ වැස නිමවනලද බ්‍රහ්මචර්යාව ඇත්තාවූ, කරන ලද කටයුතු ඇත්තාවූ, බහා තබනලද බර ඇත්තාවූ, තමාගේ අර්ථයට පැමිණියාවූ විනාශ කළ භව බැඳුම් ඇත්තාවූ, මනාව දැන මිදුනාවූ පුද්ගලයායයි කියනු ලැබේයයි වදාළේය.

(අටවෙනි අරහ සූත්‍රය නිමි.)