සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
3. දිට්ඨි සංයුත්තය
1. සොයෙව පෙය්‍යාල වර්ගය
13. තංජීවං සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ ‘ජීවයත් එයමය, ශරීරයත් එයමය’ යන දෘෂ්ටිය උපදීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභවකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන සේක්නම් මැනවි.”
“මහණෙනි, එසේනම් අසව් මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය.
“ස්වාමීනි. එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇතිකල්හි, රුපය නිසා, රුපයට පැමිණ, ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදියි.
“වේදනාව ඇතිකල්හි, වේදනාව නිසා, වේදනාවට පැමිණ, ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදියි.
‘සංඥාව ඇතිකල්හි, සංඥාව නිසා, සංඥාවට පැමිණ ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදියි.
“සංස්කාරයන් ඇතිකල්හි, සංස්කාරයන් නිසා, සංස්කාරයන්ට පැමිණ, ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදියි.
“විඤ්ඤාණය ඇතිකල්හි, විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට පැමිණ, ජීවයත් එයමය. ශරීරයත් එයමය. යන මේ දෘෂ්ටිය උපදියි.
[4] “මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? රූපය නිත්‍යය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි. එය නොවන්නේමය.”
“වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි. අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි. දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමිනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි. දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
[5] “දක්නාලද, අසනලද, නාසය, දිව, කය යන තුනෙන් දන්නාලද, සිතින් දැනගන්නාලද, පැමිණෙන ලද, සොයන ලද, විමසනලද යම් ඒ දෙයක් වේද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, ඉදින් එය දැඩිලෙස නොගෙන ජීවයත් එයමය ශරීරයත් එයමය යන දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය.”
[6] “මහණෙනි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකයාහට මේ කරුණු සයෙහි සැක දුරුවූයේ වෙයිද, දුක්ඛයෙහිද, ඔහුගේ සැක දුරුවූයේ වෙයි. දුක්ඛසමුදයෙහිද, ඔහුගේ සැක දුරු වූයේ වෙයි. දුක්ඛනිරෝධයෙහිද, ඔහුගේ සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාවෙහිද, ඔහුගේ සැක දුරුවූයේ වෙයි.
“මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙමේ සෝවාන් මාර්ගඵලයට පැමිණියෙකැයිද සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද නියතවූ ගති ඇත්තෙකැයිද, අර්හත් ඵලය පිහිට කොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
(දහතුන්වෙනි තංජීවං සූත්‍රය නිමි.)