සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
3. දිට්ඨි සංයුත්තය
1. සොයෙව පෙය්‍යාල වර්ගය
14. අඤ්ඤං ජීවං සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පැමිණ ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන සේක්නම් මැනවි.”
“මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය.
“ස්වාමීනි එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “රූපය ඇතිකල්හි රූපය නිසා රූපයට පැමිණ ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදී. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදී. සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාවට පැමිණ ‘ජීවය අනිකක ශරීරය අනිකක යන මේ දෘෂ්ටිය උපදී. සංස්කාර ඇති කල්හි සංස්කාර නිසා සංස්කාරයට පැමිණ ‘ජීවය අනිකක, ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදී. විඥානය ඇතිකල්හි විඥානය නිසා විඥානයට පැමිණ ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදී.
“මහණෙනි, ඒ කුමකැයි සිතව්ද?
“රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද එය දැඩිකොට අල්වා නොගෙන ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේය.”
“වේදනාව නිත්‍යද අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ‘ජීවය අනිකක ශරීරය අනිකක යන මේ දෘෂ්ටිය උපදින්නේද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.”
“සංඥාව නිත්‍යද? අනිත්‍යද?” “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යනම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වානොගෙන ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදින්නේද? - “ස්වාමීනි, එය නොවන්නේමය.
“සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍යය හෝ වෙයිද?” - “ස්වාමීනි අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.”
“විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යද දුකද වෙනස්වන ස්වභාවද එය දැඩිකොට අල්වා නොගෙන ‘ජීවය අනිකක ශරීරය අනිකක, යන මේ දෘෂ්ටිය උපදින්නේද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.”
[5] “දක්නාලද, අසනලද, නාසය දිව කය යන තුනෙන් දන්නාලද, සිතින් දන්නාලද, සොයන ලද, විමසන ලද යම් දෙයක් වේද, එයද නිත්‍යය හෝ අනිත්‍ය හෝ වෙයිද?” -“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද එය දැඩි වශයෙන් නොගෙන ‘ජීවය අනිකක ශරීරය අනිකක යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
[6] “මහණෙනි, යම් තැනක පටන් ආර්යශ්‍රාවකයාහට මේ කරුණු සයෙහි සැක දුරුවූයේ වෙයි, ඔහුට දුක පිළිබඳවද සැකදුරුවූයේ වෙයි, දුක්ඛ සමුදය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි දුක්ඛ නිරෝධය පිළිබඳවද සැක දුරු වූයේ වෙයි, දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව පිළිබඳවද සැක දුරුවූයේ වෙයි.”
“මහණෙනි, මේ ආර්යශ්‍රාවකතෙමේ ශ්‍රොතාපත්ති මාර්ග ඵලයට පැමිණියෙකැයිද සතර අපායෙහි වැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද නියත ගති ඇත්තෙකැයිද, අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
(දහහතරවෙනි අඤ්ඤං ජීවං සූත්‍රය නිමි.)