සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

3. දිට්ඨි සංයුත්තය

1. සොයෙව පෙය්‍යාල වර්ගය

3. සො අත්තා සූත්‍රය

[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි වනාහි කුමක් නිසා කුමකට පැමිණ මෙසේ ‘ඒ මම ආත්මය වෙමි. ඒ මම ලොකය වෙමි. ඒ මම පරලොව්හි නිත්‍ය වූයේද, ස්ථිර වූයේද, සදාකාලික වූයේද, වෙනස්නොවන ස්වභාව’ ඇත්තේද වන්නෙමි’ යන මේ දෘෂ්ටිය උපදීද?

“ස්වාමීනි. අපගේ දහම් භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභවකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. මේ කීමේ අදහස කුමක්ද, භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්නම් මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා ඒ අර්ථය භික්ෂූහු දැනගන්නාහුය.”

“මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය.

“ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

[3] “මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණි ඒ මම ආත්මය වෙමි. ඒ මම ලෝකය වෙමි. ඒ මම පරලෙව්හි නිත්‍යයද ඒකාන්තද සදාකාලිකද වෙනස් නොවීම ස්වභාවකොට ඇත්තේද, වන්නෙමි’ යන මේ දෘෂ්ටිය උපදියි.

“වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ ‘ඒ මම ආත්මය වෙමි. ඒ මම ලෝකය වෙමි. ඒ මම පරලෙව්හි නිත්‍යද ඒකාන්තද සදාකාලිකද වෙනස් නොවීම ස්වභාවකොට ඇත්තේද වන්නෙමි, යන මේ දෘෂ්ටිය උපදියි.

“සඤ්ඤාව ඇති කල්හි සඤ්ඤාව නිසා සඤ්ඤාවට පැමිණ ‘ඒ මම ආත්මය වෙමි. ඒ මම ලෝකය වෙමි. ඒ මම පරලෙව්හි නිත්‍යයද ඒකාන්තද සදාකාලිකද වෙනස් නොවීම ස්වභාව කොට ඇත්තේද වන්නෙමි’ යන මේ දෘෂ්ටිය උපදියි.”

“සංස්කාරයන් ඇති කල්හි සංස්කාරය නිසා සංස්කාරයට පැමිණ ඒ මම ආත්මය වෙමි. ඒ මම ලෝකය වෙමි. ඒ මම පරලෙව්හි නිත්‍යයද ඒකාන්තද සදාකාලිකද වෙනස් නොවීම ස්වභාව කොට ඇත්තේද වන්නෙමි යන මේ දෘෂ්ටිය උපදියි.”

“විඤ්ඤාණය ඇතිකල්හි විඤ්ඤාණය නිසා විඤ්ඤාණයට පැමිණ ‘ඒ මම ආත්මය වෙමි. ඒ මම ලොකය වෙමි. ඒ මම පරලෙව්හි නිත්‍යද ඒකාන්තද සදාකාලිකද වෙනස් නොවීම ස්වභාවකොට ඇත්තේද වන්නෙමි’ යන මේ දෘෂ්ටිය උපදියි.

[4] “මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ වෙයිද, සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකයි.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වීම ස්වභාවකොට ඇත්තේද එය අල්වා නොගෙන ඒ මම ආත්මය වෙමි. ඒ මම ලෝකය වෙමි. ‘ඒ මම පරලෙව්හි නිත්‍යයද ස්ථිරද සදාකාලිකද නොවෙනස්වීම ස්වභාව කොට ඇත්තේද වන්නෙමි’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, නූපදින්නේමය.”

“වේදනාව නිත්‍යය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වීම ස්වභාවකොට ඇත්තේද, එය අල්වා නොගෙන ඒ මම වෙමි. ඒ මම ලෝකය වෙමි. ඒ මම පරලෙව්හි නිත්‍යයද, ස්ථිරද, සදාකාලිකද නොවෙනස්වීම ස්වභාවකොට ඇත්තේද වන්නෙමි’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, නූපදින්නේමය.”

“සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ වෙයිද? සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යයද දුකද වෙනස්වීම ස්වභාවකොට ඇත්තේද? එය අල්වා නොගෙන ‘ඒ මම ආත්මය වෙමි, ඒ මම ලෝකය වෙමි. ඒ මම පරලෙව්හි නිත්‍යයද ස්ථිරද සදාකාලිකද නොවෙනස්වීම ස්වභාවකොට ඇත්තේද වන්නෙමි’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, නූපදින්නේමය.”

“සංස්කාරය නිත්‍යය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද? -“ස්වාමීනි, දුකයි.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වීම ස්වභාවකොට ඇත්තේද එය අල්වා නොගෙන ‘ඒ මම ආත්මය වෙමි. ඒ මම ලෝකය වෙමි. ඒ මම පරලෙව්හි නිත්‍යයද ස්ථිරද සදාකාලිකද නොවෙනස්වීම ස්වභාව කොට ඇත්තේද වන්නෙමි’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, නූපදින්නේමය.”

“විඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යයද, දුකද වෙනස්වීම ස්වභාවකොට ඇත්තේද එය අල්වා නොගෙන ‘ඒ මම ආත්මය වෙමි. ඒ මම ලෝකය වෙමි. ඒ මම පරලෙව්හි නිත්‍යයද ඒකාන්තද සදාකාලිකද වෙනස්වීම ස්වභාව කොට ඇත්තේද වන්නෙමි’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, නූපදින්නේමය.”

[5] “ඇසින් දක්නාලද කණින් අසනලද නාසය දිව කය යන තුනෙන් දැනගන්නාලද සිතින් දක්නා ලද පැමිණෙනලද සොයන ලද විසෙන ලද යම් ඒ දෙයක් වේද, එයද නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍යයද, එය දුක් හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි දුකය.”

“යමක් අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද එය අල්වා නොගෙන ඒ මම ආත්මය වෙමි. ‘ඒ මම ලෝකය වෙමි. ඒ මම පරලෙව්හි නිත්‍යයද ඒකාන්තද සදාකාලිකද, වෙනස්නොවීම ස්වභාව කොට ඇත්තේද, වන්නෙමියි යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, නූපදින්නේමය.”

“මහණෙනි, යම් තැනක පටන් ආර්යශ්‍රාවකයාහට මේ කරුණු සයෙහි සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක්ඛයෙහිද සැකදුරුවූයේ වෙයිද, දුක්ඛ සමුදයෙහි සැක දුරුවූයේ වෙයිද, දුක්ඛ නිරෝධයෙහි සැක දුරුවූයේ වෙයිද, දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාවෙහි සැක දුරුවූයේ වෙයි.

“මහණෙනි, මේ ආර්යශ්‍රාවකතෙමේ ශ්‍රොතාපත්ති මාර්ග ඵලයට පැමිණියෙකැයිද සතර අපායෙහි වැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද නියත ගති ඇත්තෙකැයිද, අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”

(තුන්වෙනි සො අත්තා සූත්‍රය නිමි.)