සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

11. යොගක්ඛෙමි වර්‍ගය

3. දුක්ඛ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, දුක්ඛයාගේ හටගැණීමද, විනාශයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, දුක්ඛයාගේ හටගැනීම කවරේද යත්, ඇසද රූපයද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. (ඒ ) තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. මේ දුක්ඛයාගේ හටගැනීම වේ.

කණද ශබ්දයද නිසා සොත විඤ්ඤාණය උපදියි. (ඒ ) තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵ්සසය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. මේ දුක්ඛයාගේ හටගැනීම වේ.

නාසයද ගන්‍ධයද නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. (ඒ ) තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. මේ දුක්ඛයාගේ හටගැනීම වේ. දිවද රසයද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. (ඒ ) තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. මේ දුක්ඛයාගේ හටගැනීම වේ.

කයද ස්පර්‍ශයද නිසා කාය විඤ්ඤාණය උපදියි. (ඒ ) තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. මේ දුක්ඛයාගේ හටගැනීම වේ.

සිතනිසාද ධර්‍මයන් නිසාද මනෝ විඤ්ඤාණය උපදියි. (ඒ ) තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. මහණෙනි, මේ වනාහි දුක්ඛයාගේ හටගැනීම වේ.

’’මහණෙනි, දුක්ඛයාගේ විනාශය කවරේද යත්, ඇසද රූපද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුඬ කිරීම හේතුකොටගෙන උපාදානයන්ගේ (තණ්හා දිට්ඨ මානයන්ගේ තදින් අල්වා ගැනීම) නිරොධය වේ. උපාදාන නිරොධයෙන් කර්‍මභවයාගේ නිරොධය වේ. කර්‍ම භවයාගේ නිරොධය වීමෙන් ජාති නිරොධය වේ. (උත්පත්තිය නිරුඬවේ.) ජාති නිරොධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන මොහු නිරුඬවෙත් මෙසේ මේ සියළු දුක්ඛ සමූහයාගේ වැලැක්ම වේ. මේ දුක්ඛයාගේ විනාශය වේ.

කණද ශබ්දයද නිසා සෝත විඤ්ඤාණය උපදියි. (ඒ) තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුඬ කිරීම හේතුකොටගෙන උපාදානයන්ගේ (තණ්හා දිට්ඨ මානයන්ගේ තදින් අල්වා ගැනීම) නිරොධය වේ. උපාදාන නිරොධයෙන් කර්‍මභවයාගේ නිරොධය වේ. කර්‍ම භවයාගේ නිරොධය වීමෙන් ජාති නිරොධය වේ. (උත්පත්තිය නිරුඬවේ.) ජාති නිරෝධයෙන් ජරා මරණ සොක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන මොහු නිරුඬවෙත් මෙසේ මේ සියළු දුක්ඛ සමූහයාගේ වැලැක්ම වේ. මේ දුක්ඛයාගේ විනාශය වේ.

නාසයද ගන්‍ධයද නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. (ඒ) තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුඬ කිරීම හේතුකොටගෙන උපාදානයන්ගේ (තණ්හා දිට්ඨ මානයන්ගේ තදින් අල්වා ගැනීම) නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් කර්‍මභවයාගේ නිරෝධය වේ. කර්‍ම භවයාගේ නිරෝධය වීමෙන් ජාති නිරෝධය වේ. (උත්පත්තිය නිරුඬවේ.) ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන මොහු නිරුඬවෙත් මෙසේ මේ සියළු දුක්ඛ සමූහයාගේ වැලැක්ම වේ. මේ දුක්ඛයාගේ විනාශය වේ.

දිවද රසයද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. (ඒ) තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුඬ කිරීම හේතුකොටගෙන උපාදානයන්ගේ (තණ්හා දිටඨ මානයන්ගේ තදින් අල්වා ගැනීම) නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් කර්‍මභවයාගේ නිරෝධය වේ. කර්‍ම භවයාගේ නිරෝධය වීමෙන් ජාති නිරෝධය වේ. (උත්පත්තිය නිරුඬවේ.) ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන මොහු නිරුඬවෙත් මෙසේ මේ සියළු දුක්ඛ සමූහයාගේ වැලැක්ම වේ. මේ දුක්ඛයාගේ විනාශය වේ.

කයද ස්පර්‍ශයද නිසා කාය විඤ්ඤාණය උපදියි. (ඒ) තුන්දෙනාගේ එක්වීම ඵසසය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුඬ කිරීම හේතුකොටගෙන උපාදානයන්ගේ (තණ්හා දිටඨ මානයන්ගේ තදින් අල්වා ගැනීම) නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් කර්‍මභවයාගේ නිරෝධය වේ. කර්‍ම භවයාගේ නිරෝධය වීමෙන් ජාති නිරෝධය වේ. (උත්පත්තිය නිරුඬවේ.) ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාස යන මොහු නිරුඬවෙත් මෙසේ මේ සියළු දුක්ඛ සමූහයාගේ වැලැක්ම වේ. මේ දුක්ඛයාගේ විනාශය වේ.

සිතද ධර්‍මයන්ද නිසා මනෝ් විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුඬ කිරීම හේතුකොටගෙන උපාදානයන්ගේ (තණ්හා දිටඨ මානයන්ගේ තදින් අල්වා ගැනීම) නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් කර්‍මභවයාගේ නිරෝධය වේ. කර්‍ම භවයාගේ නිරෝධය වීමෙන් ජාති නිරෝධය වේ. (උත්පත්තිය නිරුඬවේ.) ජාති නිරෝධයෙන් ජරා මරණ සොක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන මොහු නිරුඬවෙත් මෙසේ මේ සියළු දුක්ඛ සමූහයාගේ වැලැක්ම වේ. මහණෙනි, මේ වනාහි දුක නැසීම වේයයි, (වදාළේය.)