සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

11. යොගක්ඛෙමි වර්‍ගය

6. සංයොජන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, සංයෝජනයන්ට හිතවූ ධර්‍මයන්ද, සංයෝජනයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සංයෝජනයන්ට හිතවූ ධර්‍මයෝ කවරහුද, සංයෝජනය කවරේද?

’’මහණෙනි, ඇස සංයෝජනයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඇලීමක්වේද, එය එහි සංයෝජනය වේ. කණ සංයෝජනයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඇලීමක්වේද, එය එහි සංයෝජනය වේ. නාසය සංයෝජනයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඇලීමක්වේද, එය එහි සංයෝජනය වේ. දිව සංයෝජනයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඇලීමක්වේද, එය එහි සංයෝජනය වේ. කය සංයෝජනයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඇලීමක්වේද, එය එහි සංයෝජනය වේ. සිත සංයෝජනයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඇලීමක්වේද, එය එහි සංයෝජනය වේ. මහණෙනි, මොහු සංයෝජනයන්ට හිතවූ ධර්‍මයෝයයිද මෙය සංයෝජනයයිද කියනුලැබෙත්යයි, (වදාළේය.)