සංයුත්තනිකායො
සළායතන වර්ගය
1. සළායතන සංයුත්තය
12. ලොකකාමගුණ වර්ගය
6. පඤ්චසිඛ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජක්‍ඞකූට පර්වතයෙහි වූ විහාරයෙහි වැඩවසන සේක. එකල්හි පඤ්චසිඛ නම් ගාන්ධර්ව දිව්‍යපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ පඤ්චසිඛ නම් ගාන්ධර්ව දිව්‍යපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
’’ස්වාමීනි යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ මේ ආත්මයෙහිම (ක්ලේශ පරිනිර්වාණයෙන්) නොපිරිනිවෙත්ද, ස්වාමීනි ඊට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද? යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ මේ ආත්මයෙහිම (ක්ලේශ පරිනිර්වාණයෙන්) පිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද, යනුයි.
’’පඤ්චසිඛය, චක්ඛුවිඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ රූප ඇත්තාහ. ඉදින් භික්ෂුතෙම එයට කැමති වේද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එයට කැමති වන්නාවූ, එය ප්‍රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඥානය වේ. එය උපාදානය (තෘෂ්ණා ග්රහණයෙන් ගැනීම) වේ. පඤ්චසිඛය උපාදාන සහිතවූ භික්ෂුතෙම (කෙළෙස් පරිනිර්වාණයෙන්) නොපිරිනිවෙයි.
’’පඤචසිඛය , සෝත විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ ශබ්ද ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එයට කැමති වේද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එයට කැමති වන්නාවූ, එය ප්‍රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඥානය වේ. එය උපාදානය (තෘෂ්ණා ග්රහණයෙන් ගැනීම) වේ. පඤ්චසිඛය උපාදාන සහිතවූ භික්ෂුතෙම (කෙළෙස් පරිනිර්වාණයෙන්) නොපිරිනිවෙයි.
’’පඤචසිඛය , ඝාණ විඤඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ ගන්ධ ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එයට කැමති වේද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එයට කැමති වන්නාවූ, එය ප්‍රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඥානය වේ. එය උපාදානය (තෘෂ්ණා ග්රහණයෙන් ගැනීම) වේ. පඤ්චසිඛය උපාදාන සහිතවූ භික්ෂුතෙම (කෙළෙස් පරිනිර්වාණයෙන්) නොපිරිනිවෙයි.
’’පඤ්චසිඛය , ජිව්හා විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ රස ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එයට කැමති වේද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එයට කැමති වන්නාවූ, එය ප්‍රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඥානය වේ. එය උපාදානය (තෘෂ්ණා ග්රහණයෙන් ගැනීම) වේ. පඤචසිඛය උපාදාන සහිතවූ භික්ෂුතෙම (කෙළෙස් පරිනිර්වාණයෙන්) නොපිරිනිවෙයි.
’’පඤ්චසිඛය , කාය විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ ස්පර්ශ ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එයට කැමති වේද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එයට කැමති වන්නාවූ, එය ප්‍රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඥානය වේ. එය උපාදානය (තෘෂ්ණා ග්රහණයෙන් ගැනීම) වේ. පඤ්චසිඛය උපාදාන සහිතවූ භික්ෂුතෙම (කෙළෙස් පරිනිර්වාණයෙන්) නොපිරිනිවෙයි.
’’පඤ්චසිඛය , මනෝ විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ ධර්ම ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එයට කැමති වේද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එයට කැමති වන්නාවූ, එය ප්‍රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඥානය වේ. එය උපාදානය (තෘෂ්ණායෙවන් දැඩිකොට ගැනීම) වේ. පඤ්චසිඛය උපාදාන සහිතවූ භික්ෂුතෙම නොපිරිනිවෙයි. පඤ්චසිඛය මේ ලෝකයෙහි යම් හෙයකින් ඇතැම් සත්වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, (එයට) මෙය හේතුවේ. මේ ප්‍රත්‍යය වේ.
’’පඤචසිඛය , චක්ඛු විඤඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ රූප ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එයට නොකැමති වේද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එයට නොකැමති වන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඤ්ඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. පඤ්චසිඛය උපාදාන රහිතවූ භික්ෂුතෙම පිරිනිවෙයි.
’’පඤචසිඛය , සෝත විඤඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ ශබ්ද ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එයට නොකැමති වේද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එයට නොකැමති වන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඤ්ඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. පඤ්චසිඛය උපාදාන රහිතවූ භික්ෂුතෙම පිරිනිවෙයි.
’’පඤචසිඛය , ඝාණ විඤඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ ගන්ධ ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එයට නොකැමති වේද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එයට නොකැමති වන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඤ්ඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. පඤ්චසිඛය උපාදාන රහිතවූ භික්ෂුතෙම පිරිනිවෙයි.
’’පඤචසිඛය , ජිව්හා විඤඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ රස ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එයට නොකැමති වේද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එයට නොකැමති වන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඤ්ඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. පඤ්චසිඛය උපාදාන රහිතවූ භික්ෂුතෙම පිරිනිවෙයි.
’’පඤ්චසිඛය , කාය විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ ස්පර්ශ ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එයට නොකැමති වේද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එයට නොකැමති වන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඤ්ඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. පඤ්චසිඛය උපාදාන රහිතවූ භික්ෂුතෙම පිරිනිවෙයි.
’’පඤ්චසිඛය , මනෝ විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ ධර්ම ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එයට නොකැමති වේද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එයට නොකැමති වන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඤඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. දෙවේන්ද්‍රය උපාදාන රහිතවූ භික්ෂුතෙම පිරිනිවන්පායි. පඤචසිඛය මේ ලෝකයෙහි ඇතැම් සත්ව කෙනෙක් යම් හෙයකින් මේ ආත්මයෙහිම පිරිනිවන් පාත්ද, එයට මේ හේතුවේ. මේ ප්‍රත්‍යය වේයයි, (වදාළ සේක.)