සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

12. ලොකකාමගුණ වර්‍ගය

5. සක්කො සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජක්‍ඞකූට පර්‍වතයෙහි වැඩ වසන සේක. එකල්හි ශක්‍රදෙවේන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව සිටියේය. එකත්පස්ව සිටියා වූ ශක්‍රදෙවේන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

‘ සවාමීනි, මේ ලෝකයෙහි ඇතැම් සත්‍ව කෙනෙක් යම් හෙයකින් මේ ආත්මයෙහිම (ක්ලේශ පරිනිර්‍වාණයෙන්) නොපිරිණිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද? සවාමීනි, මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වකෙනෙක් මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද?’ යනුයි.

’’දෙවේන්ද්‍රය, චක්‍ඛුවිඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ රූප ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට කැමති වේද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එයට කැමති වන්නාවූ, එය ප්‍රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඥානය වේ. එය උපාදානය (තෘෂ්ණා ග්‍රහණයෙන් ගැනීම) වේ. දෙවේන්ද්‍රය උපාදාන සහිතවූ භික්‍ෂුතෙම (කෙළෙස් පරිනිර්‍වාණයෙන්) නොපිරිනිවෙයි.

’’දෙවේන්ද්‍රය , සෝත විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ ශබ්ද ඇත්තාහ. ඉදින් භික්‍ෂු තෙම එයට කැමති වේද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එයට කැමති වන්නාවූ, එය ප්‍රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්‍ම විඥානය වේ. එය උපාදානය (තෘෂ්ණා ග්‍රහණයෙන් ගැනීම) වේ. දෙවේන්ද්‍රය උපාදාන සහිතවූ භික්‍ෂුතෙම (කෙළෙස් පරිණිර්‍වාණයෙන්) නොපිරිනිවෙයි.

’’දෙවේන්ද්‍රය , ඝාණ විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ ගන්‍ධ ඇත්තාහ. ඉදින් භික්‍ෂු තෙම එයට කැමති වේද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එයට කැමති වන්නාවූ, එය ප්‍රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්‍ම විඥානය වේ. එය උපාදානය (තෘෂ්ණා ග්‍රහණයෙන් ගැනීම) වේ. දෙවේන්ද්‍රය උපාදාන සහිතවූ භික්‍ෂුතෙම (කෙළෙස් පරිනිර්‍වාණයෙන්) නොපිරිනිවෙයි.

’’දෙවේන්ද්‍රය , ජිව්හා විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ රස ඇත්තාහ. ඉදින් භික්‍ෂු තෙම එයට කැමති වේද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එයට කැමති වන්නාවූ, එය ප්‍රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්‍ම විඥානය වේ. එය උපාදානය (තෘෂ්ණා ග්‍රහණයෙන් ගැනීම) වේ. දෙවේන්ද්‍රය උපාදාන සහිතවූ භික්‍ෂුතෙම (කෙළෙස් පරිනිර්‍වාණයෙන්) නොපිරිනිවෙයි.

’’දෙවේන්ද්‍රය , කාය විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ ස්පර්‍ශ ඇත්තාහ. ඉදින් භික්‍ෂු තෙම එයට කැමති වේද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එයට කැමති වන්නාවූ, එය ප්‍රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්‍ම විඥානය වේ. එය උපාදානය (තෘෂ්ණා ග්‍රහණයෙන් ගැනීම) වේ. දෙවේන්ද්‍රය උපාදාන සහිතවූ භික්‍ෂුතෙම (කෙළෙස් පරිනිර්‍වාණයෙන්) නොපිරිනිවෙයි.

’’දෙවේන්ද්‍රය , මනෝ විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ ධර්‍ම ඇත්තාහ. ඉදින් භික්‍ෂු තෙම එයට කැමති වේද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එයට කැමති වන්නාවූ, එය ප්‍රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්‍ම විඥානය වේ. එය උපාදානය (තෘෂ්ණායෙවන් දැඩිකොට ගැනීම) වේ. දෙවේන්ද්‍රය උපාදාන සහිතවූ භික්‍ෂුතෙම නොපිරිනිවෙයි. දෙවේන්ද්‍රය මේ ලෝකයෙහි යම් හෙයකින් ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, (එයට) මෙය හේතුවේ. මේ ප්‍රත්‍යය වේ.

’’දෙවේන්ද්‍රය, චක්‍ඛු විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ රූප ඇත්තාහ. ඉදින් භික්‍ෂු තෙම එයට නොකැමති වේද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එයට නොකැමති වන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඤඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. දෙවේන්ද්‍රය උපාදාන රහිතවූ භික්‍ෂුතෙම පිරිනිවෙයි. ,දෙවේන්ද්‍රය, සෝත විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ ශබ්ද ඇත්තාහ. ඉදින් භික්‍ෂු තෙම එයට නොකැමති වේද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එයට නොකැමති වන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඤඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. දෙවේන්ද්‍රය උපාදාන රහිතවූ භික්‍ෂුතෙම පිරිනිවෙයි.

’’දෙවේන්ද්‍රය, ඝාණ විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ ගන්‍ධ ඇත්තාහ. ඉදින් භික්‍ෂු තෙම එයට නොකැමති වේද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එයට නොකැමති වන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඤ්ඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. දෙවේන්ද්‍රය උපාදාන රහිතවූ භික්‍ෂුතෙම පිරිනිවෙයි.

’’දෙවේන්ද්‍රය, ජිව්හා විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ රස ඇත්තාහ. ඉදින් භික්‍ෂු තෙම එයට නොකැමති වේද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එයට නොකැමති වන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඤඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. දෙවේන්ද්‍රය උපාදාන රහිතවූ භික්‍ෂුතෙම පිරිනිවෙයි.

’’දෙවේන්ද්‍රය, කාය විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ ස්පර්‍ශ ඇත්තාහ. ඉදින් භික්‍ෂු තෙම එයට නොකැමති වේද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එයට නොකැමති වන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඤ්ඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. දෙවේන්ද්‍රය උපාදාන රහිතවූ භික්‍ෂුතෙම පිරිනිවෙයි. ,දෙවේන්ද්‍රය, මනෝ විඤඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ ධර්‍ම ඇත්තාහ. ඉදින් භික්‍ෂු තෙම එයට නොකැමති වේද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එයට නොකැමති වන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ කර්ම විඤ්ඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. දෙවේන්ද්‍රය උපාදාන රහිතවූ භික්‍ෂුතෙම පිරිනිවන්පායි. දෙවේන්ද්‍රය මේ ලෝකයෙහි ඇතැම් සත්‍ව කෙනෙක් යම් හෙයකින් මේ ආත්මයෙහිම පිරිනිවන් පාත්ද, එයට මේ හේතුවේ. මේ ප්‍රත්‍යය වේයයි, (වදාළ සේක.)