සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

13. ගෘහපති වර්‍ගය

10. වේරහච්චානි සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේ කාමණ්ඩා නම් නුවර තෝදෙය්‍ය නම් බ්‍රාහ්මණයාගේ අඹ උයනෙහි වාසය කරති. එකල්හි වෙරහච්චානි ගොත්‍ර ඇත්තාවූ බැමිණියගේ අතවැසි වූ මානවකයෙක් තෙම ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ මානවකයාට ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම දැහැමිවූ කථාවෙන් කරුණු දැක්වීය. සමාදන් කරවූයේය, තෙද ගැන්වීය, සතුටු සිත් ඇති කෙළේය.

ඉක්බිති ඒ මානවකතෙම ආයුෂ්මත් උදායී ස්ථවිරයන් විසින් දැහැමිවූ කථාවෙන් කරුණු දක්වන ලද්දේ, සමාදන් කරවන ලද්දේ, තෙද ගන්වන ලද්දේ, සතුටු කරවන ලද්දේ, හුනස්නෙන් නැගිට වෙරහච්චානි නම් ගොත්‍ර ඇති බැමිණිතොමෝ යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් වෙරහච්චානි ගොත්‍රයෙහිවූ බැමිණියට මෙය කීයේය. , පින්වතිය, දන්නේද, උදායී ශ්‍රමණතෙම මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත් වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්‍ණවූ ධර්‍මය දේශනා කරයි. පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරේය කියායි.

මානවකය, එසේනම් නුඹ මාගේ වචනයෙන් උදායී ශ්‍රමණයන් වහන්සේට සෙට දවස පිණිස බතින් ආරාධනා කරව’’ - ’’එසේය, පින්වතියයි, කියා ඒ මානවකතෙම වෙරහච්චානි නම් ගොත්‍ර බැමිණියට උත්තරදී ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට මෙසේ කීයේය.

’’භවත් උදායී ස්ථවිරතෙමේ සෙට දවසට අපගේ ආචාර්‍ය්‍ය භාර්‍ය්‍යාව වූ වෙරහච්චානි නම් ගෝත්‍රයෙහි බැමිණියගේ බත ඉවසනු මැනව කියායි, ආයුෂ්මත් උදායී ස්ථවිරතෙමේ වනාහි නිශ්ශබ්දවීමෙන් ඉවසූයේය.

ඉක්බිති ආයුෂ්මත් උදායී ස්ථවිරතෙමේ ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන වෙරහච්චානි නම් ගෝත්‍රයෙහි බැමිණියගේ ගෙදර යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ පණවන ලද ආසනයෙහි වැඩ හුන්නේය.

එකල්හි වෙරහච්චානි නම් ගෝත්‍ර බැමිණිය ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට ප්‍රණීතවූ කෑයුතු දෙයින් හා අනුභව කළයුතු දෙයින් සියතින් වැළඳවීය. ඇතිතාක් වැළඳවීය. ඉක්බිති වෙරහච්චානි නම් ගෝත්‍ර බැමිණිතොමෝ වළඳා අවසන්වූ පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට වහන් පයලා උස්වූ ආසනයෙක්හි හිඳ හිස වසා පොරවාගෙන මෙය කීයේය. ‘ ශ්‍රමණය, ධර්‍මය දේශනා කරවයි’ කීය.

’’නැගණිය, ඊට කාලය වන්නේයයි කියා හුනස්නෙන් නැගිට වැඩියේය.

දෙවනුවද ඒ මානවකතෙම ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් ආයුෂ්මත් උදායී ස්ථවිරයන් සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ මානවකයාට ආයුෂ්මත් උදායී ස්ථවිරතෙමේ දැහැමිවූ කථාවෙන් කරුණු දැක්වීය. සමාදන් කරවූයේය, තෙද ගැන්වූයේය, සිත් සතුටු කෙළේය. දෙවනුවද ඒ මානවකතෙම ආයුෂ්මත් උදායී ස්ථවිරයන් විසින් දැහැමිවූ කථාවෙන් කරුණු දක්වන ලද්දේ, සමාදන් කරවන ලද්දේ, තෙද ගන්වන ලද්දේ, සතුටු කරවන ලද්දේ, හුනස්නෙන් නැගිට වෙරහච්චානි නම් ගොත්‍ර බැමිණිතොමෝ යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් වෙරහච්චානි නම් ගෝත්‍ර ඇති බැමිණියට මෙය කීයේය.

’’පින්වතිය, දන්නේද, උදායී ශ්‍රමණතෙමේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත් වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්‍ණවූ ධර්‍මය දේශනා කරයි. පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරේයි, කියායි.

’’මානවකය, මෙපරිද්දෙන්ම නුඹ උදායී ශ්‍රමණයන්ගේ ගුණ කීයෙහිය. උදායී ශ්‍රමණතෙමේ වනාහි ‘ ශ්‍රමණය බණ කියවයි, කියන ලද්දේම, නැගණිය, ඊට කාලය වන්නේයයි’ හුනස්නෙන් නැගිට විහාරයට ගියේය.

’’පින්වතිය, එසේ යන ආකාරයෙන් නුඹ වහන් පයලා උස් ඇසනයෙක හිඳ හිස වසාගෙණ ‘ ශ්‍රමණය බණ කියවයි’ මෙසේ කීය. ඒ පින්වත්හු ධර්‍මයට ගරුකරන්නාහු ධර්‍මය කෙරෙහි ගෞරව ඇත්තෝ වෙත්යයි, කීය.

’’මානවකය, එසේනම් නුඹ මාගේ වචනයෙන් උදායී ශ්‍රමණයන්ට සෙට දවසට බතින් ආරාධනා කරවයි, කීය.

’’පින්වතිය, එසේයයි, කියා ඒ මානවකතෙම වෙරහච්චානි නම් ගොත්‍ර ඇති බැමිණියට උත්තරදී ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට මෙය කීයේය. , භවත් උදායී ස්ථවිරතෙමේ සෙට දවසට අපගේ ආචාර්‍ය්‍ය භාර්‍ය්‍යාව වූ වෙරහච්චානි නම් ගෝත්‍ර ඇති බැමිණියගේ බත ඉවසනු මැනවැයි, කීය. ආයුෂ්මත් උදායී ස්ථවිරතෙමේ වනාහි නිශ්ශබ්දවීමෙන් ඉවසූයේය.

ඉක්බිති ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ වෙරහච්චානි නම් ගෝත්‍ර ඇති බැමිණියගේ ගෙදර යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් පණවන ලද ආසනයෙහි වැඩ හුන්නේය. එකල්හි වෙරහච්චානි නම් ගෝත්‍ර ඇති බැමිණිතොමෝ ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට ප්‍රණීතවූ කෑයුතු දෙයින් හා බුදිය යුතු දෙයින් සියතින් වැළඳවීය. ඇති පමණ වැළඳවීය. ඉක්බිති වෙරහච්චානි නම් ගෝත්‍ර ඇති බැමිණිතොමෝ වළඳා අවසන්වූ පාත්‍රයෙන් ඉවත්කළ අත් ඇති ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට වහන්වලින් බැස මිටි අස්නෙක්හි හිඳ, හිස විවෘතකොට මෙය කීයේය. , ස්වාමීණි, කුමක් ඇති කල්හි වනාහි රහත්හු සුව දුක් දෙක පණවත්ද, කුමක් නැති කල්හි රහත්හු සුවදුක්දෙක නොපණවත්ද’ කියායි.

’’නැගණිය, ඇස ඇති කල්හි රහත්හු සුවදුක් දෙක පණවත්, ඇස නැති කල්හි රහත්හු සුවදුක් දෙක නොපණවත්. කණ ඇති කල්හි රහත්හු සුවදුක් දෙක පණවත්, කණ නැති කල්හි රහත්හු සුවදුක් දෙක නොපණවත්. නාසය ඇති කල්හි රහත්හු සුවදුක් දෙක පණවත්, නාසය නැති කල්හි රහත්හු සුවදුක් දෙක නොපණවත්. දිව ඇති කල්හි රහත්හු සුවදුක් දෙක පණවත්, දිව නැති කල්හි රහත්හු සුවදුක් දෙක නොපණවත්. කය ඇති කල්හි රහත්හු සුවදුක් දෙක පණවත්, කය නැති කල්හි රහත්හු සුවදුක් දෙක නොපණවත්. සිත ඇති කල්හි රහත්හු සුවදුක් දෙක පණවත්, සිත නැති කල්හි රහත්හු සුවදුක් දෙක නොපණවත්යයි, කීය.

මෙසේ වදාළ කල්හි වෙරහච්චානි නම් ගොත්‍ර ඇති බැමිණිතොමෝ ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට මෙය කීයේය. , ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත. සවාමීනි, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසන ලද්දක් හෝ වැසුම් හරින්නේද, මංමුලාවූවෙකුට හෝ මඟ කියන්නේද, අන්‍ධකාරයෙහි හෝ ‘ඇස් ඇත්තෝ රූප දකිත්වායි’ තෙල් පහනක් දරන්නේද, මෙපරිද්දෙන්ම ආයුෂ්මත් උදායී ස්ථවිරයන් විසින් අනේකප්‍රකාරයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලදී. ආර්‍ය්‍යවූ උදායී සථවිරයන් වහන්ස, මම ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි. ධර්‍මයද භික්‍ෂු සංඝයාද ( සරණකොට යමි.) ආර්‍ය්‍ය වූ උදායී සථවිරයන් වහන්සේ මා අද පටන් දිවිහිමි කොට සරණ ගියාවූ උපාසිකාවක්යයි දරණු මැනවයි, (කීයේය.)

තුන්වෙනි ගෘහපති වර්‍ගය නිමි