සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
2. යමක වර්‍ගය
4. ආශ්වාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, මම රූපයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. රූපයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රූපයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම රූපයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. රූපයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රූපයන්ගේ ආදීනවයක් වේද, ප්‍රඥාවෙන් මා විසින් මෙය මනාව දක්නා ලදී. මහණෙනි, මම රූපයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. රූපයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රූපයන්ගේ නිස්සරණය වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී.
’’මහණෙනි, මම ශබ්දයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. ශබ්දයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ශබ්දයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ශබ්දයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. ශබ්දයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ශබ්දයන්ගේ ආදීනවය වේද, ප්‍රඥාවෙන් මා විසින් මෙය මනාව දක්නා ලදී. මහණෙනි, මම ශබ්දයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ශබ්දයන්ගේ යම් නිස්සරණය වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ශබ්දයන්ගේ නිස්සරණය වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී.’’
’’මහණෙනි, මම ගන්‍ධයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. ගන්‍ධයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ගන්‍ධයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ගන්‍ධයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. ගන්‍ධයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ගන්‍ධයන්ගේ ආදීනවයක් වේද, ප්‍රඥාවෙන් මා විසින් මෙය මනාව දක්නා ලදී. මහණෙනි, මම ගන්‍ධයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ගන්‍ධයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ගන්‍ධයන්ගේ නිස්සරණයක් වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී.’’
’’මහණෙනි, මම රසයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. යම් රසයන්ගේ ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රසයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම රසයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. රසයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රසයන්ගේ ආදීනවයක් වේද, ප්‍රඥාවෙන් මා විසින් මෙය මනාව දක්නා ලදී. මහණෙනි, මම රසයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. රසයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රසයන්ගේ නිස්සරණය වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී.
’’මහණෙනි, මම ස්පර්‍ශයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. ස්පර්‍ශයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ස්පර්‍ශයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ස්පර්‍ශයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. ස්පර්‍ශයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ස්පර්‍ශයන්ගේ ආදීනවයක් වේද, ප්‍රඥාවෙන් මා විසින් මෙය මනාව දක්නා ලදී. මහණෙනි, මම ස්පර්‍ශයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ස්පර්‍ශයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ස්පර්‍ශයන්ගේ නිස්සරණය වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.’’
’’මහණෙනි, මම ධර්‍මයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. ධර්‍මයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ධර්‍මයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ධර්‍මයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. ධර්‍මයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ධර්‍මයන්ගේ ආදීනවයක් වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ධර්‍මයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ධර්‍මයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ධර්‍මයන්ගේ නිස්සරණයක් වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් දක්නා ලදී.
’’මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම්වූ බාහිර ආයතනයන්ගේ ආශ්වාදය, ආශ්වාදය වශයෙන්ද, ආදීනවය, ආදීනව වශයෙන්ද, නිස්සරණය, නිස්සරණය වශයෙන්ද, තත්වූ පරිද්දෙන් දැන නොගත්තෙම්ද, මහණෙනි, ඒතාක්ම මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ නොකෙළෙමි.
’’මහණෙනි, යම් කලක පටන් මම මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාකොට දැන ගත්තෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍වප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ කෙළෙමි. මට වනාහි මාගේ අර්හත් ඵල සමාධිය විනාශ නොවන්නීය. මේ අන්තිම ජාතිය වේ. දැන් නැවත ඉපදීමක් නැත්තේය. ඥාන දර්‍ශනය පහළවිය.’’