සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
16. නන්‍දික්ඛය වර්‍ගය
12. අත්තානුදිට්ඨි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. , ස්වාමීනි, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේද?,
’’මහණ, ඇස අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. රූපය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. චක්ඛු විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. චකඛු සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. චකඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ.
’’මහණ, කණ අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ශබ්දයන් අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. සෝත විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. සෝත සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ.
’’මහණ, නාසය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ගන්‍ධයන් අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ඝාණ විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ඝාණ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ.
’’මහණ, දිව අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. රසයන් අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ජිව්හා විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ජිව්හා සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ.
’’මහණ, කය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ස්පර්‍ශයන් අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. කාය විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. කාය සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ.
’’මහණ, සිත අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ධර්‍මයන් අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. මනෝ විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. මනෝ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ.
’’මහණ මෙසේ වනාහි දන්නහුගේ මෙසේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණ වේයයි, (වදාළ සේක.)
නන්‍දික්‍ෂය වර්‍ගය නිමි.