සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
2. යමක වර්‍ගය
6. නොව ආශ්වාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, ඉදින් මේ රූපයන්ගේ ආශ්වාදයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ රූපයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි රූපයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ රූපයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ රූපයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් රූපයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ රූපයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ රූපයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් රූපයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන් කෙරෙන් මිදෙන්නාහුය.
’’මහණෙනි, ඉදින් මේ ශබ්දයන්ගේ ආශ්වාදයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ශබ්දයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ශබ්දයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ශබ්දයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ ශබ්දයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ශබ්දයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ශබ්දයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ශබ්දයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ ශබ්දයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ශබ්දයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ශබ්දයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ශබ්දයන් කෙරෙන් මිදෙන්නාහුය.
’’මහණෙනි, ඉදින් මේ ගන්‍ධයන්ගේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්‍වයෝ මේ ගන්‍ධයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ගන්‍ධයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ගන්‍ධයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ ගන්‍ධයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ගන්‍ධයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ගන්‍ධයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ගන්‍ධයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ ගන්‍ධයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ගන්‍ධයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ගන්‍ධයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ගන්‍ධයන් කෙරෙන් මිදෙන්නාහුය.
’’මහණෙනි, ඉදින් මේ රසයන්ගේ ආශ්වාදයක් නැත්තේ නම් සත්ත්‍වයෝ මේ රසයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් රසයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ රසයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ රසයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ රසයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් රසයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ රසයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ රසයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ රසයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් රසයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ රසයන් කෙරෙන් මිදෙන්නාහුය.
’’මහණෙනි, ඉදින් මේ ස්පර්‍ශයන්ගේ ආශ්වාදයක් නැත්තේ නම් සත්ත්‍වයෝ මේ ස්පර්‍ශයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ස්පර්‍ශයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ස්පර්‍ශයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ ස්පර්‍ශයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ස්පර්‍ශයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ස්පර්‍ශයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ස්පර්‍ශයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ ස්පර්‍ශයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ස්පර්‍ශයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ස්පර්‍ශයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ස්පර්‍ශයන් කෙරෙන් මිදෙන්නාහුය.
’’මහණෙනි, ඉදින් මේ ධර්‍මයන්ගේ ආශ්වාදයෙක් නැත්තේ නම් සත්ත්‍වයෝ ධර්‍මයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ධර්‍මයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ධර්‍මයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ ධර්‍මයන්ගේ ආදීනවයෙක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ධර්‍මයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ධර්‍මයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ධර්‍මයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ ධර්‍මයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ධර්‍මයන් කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ධර්‍මයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ධර්‍මයන් කෙරෙන් මිදෙන්නාහුය.
’’මහණෙනි, යම්තාක් කල් සත්ත්‍වයෝ මේ සවැදෑරුම්වූ බාහිරවූ ආයතනයන්ගේ ආශ්වාදය, ආශ්වාද වශයෙන්ද, ආදීනවය, ආදීනව වශයෙන්ද, නිස්සරණය, නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් නොදැන ගත්තාහුද, මහණෙනි, ඒතාක්ම සත්ත්‍වයෝ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකය කෙරෙන්, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, ප්‍රජාව කෙරෙන් නික්මුණාහු වෙන්වූවාහු, මිදුනාහු, ලෝක සීමාව ඉක්මවූ සිතින් යුක්තවූ සිතින් යුක්තව වාසය නොකළාහුය. මහණෙනි, යම් කලක පටන් සත්ත්‍වයෝ මේ සවැදෑරුම්වූ, බාහිරවූ, ආයතනයන්ගේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශ යෙන්ද, තත්වූ පරිද්දෙන් දැනගත්තාහුද, මහණෙනි, එකල්හි සත්ත්‍වයෝ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙන් මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, ප්‍රජාවෙන් නික්මුණාහු, වෙන්වූවාහු, මිදුනාහු, ලෝක සීමාව ඉක්මවූ සිතින් යුක්තව වාසය කෙරෙත්ය’’ යි වදාළ සේක.