සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

2. යමක වර්‍ගය

10. උප්පාද සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, රූපයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ශබ්දයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ගන්‍ධයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. රසයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ස්පර්ශයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ධර්මයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ.’’

’’මහණෙනි, රූපයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. ශබ්දයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. ගන්‍ධයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. රසයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. ස්පර්‍ශයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. ධර්‍මයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ’’ යයි (වදාළ සේක.)

දෙවෙනි යමක වර්‍ගය නිමි.