සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

18. සමුද්ද වර්‍ගය

5. කොට්ඨිත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙමේද බරණැස් නුවර මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරතෙමේ සවස් වේලෙහි ඵලසමවතින් නැගීසිටියේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවියයුතු සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරතෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙය සැල කෙළේය.

’’ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, කිමෙක්ද?

’’ඇස රූපයන්ගේ සංයෝජනය වේද, රූපයෝ ඇසට සංයෝජන වෙත්ද? කණ ශබ්දයන්ගේ සංයෝජනය වේද, ශබ්දයෝ කණට සංයෝජන වේද? නාසය ගන්‍ධයන්ගේ සංයෝජනය වේද, ගන්‍ධයෝ නාසයට සංයෝජන වේද? දිව රසයන්ගේ සංයෝජනය වේද, රස දිවට සංයෝජන වේද? කය ස්පර්‍ශයන්ගේ සංයෝජනය වේද, ස්පර්‍ශයෝ කයට සංයෝජන වේද? සිත ධර්‍මයන්ට සංයෝජනය වේද, ධර්‍මයෝ සිතට සංයෝජන වෙත්ද?, කියායි.

’’ආයුෂ්මත් කොට්ඨිත ස්ථවිරයෙනි, ඇස රූපයන්ගේ සංයෝජනය නොවේ. රූපයෝ ඇසට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ.

’’කණ ශබ්දයන්ගේ සංයෝජන නොවේ. ශබ්දයෝ කණට සංයෝජන නොවෙත්. ඒ දෙක නිසා ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ.

’’නාසය ගන්‍ධයන්ගේ සංයෝජන නොවේ. ගන්‍ධයෝ නාසයට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, ඒ එහි සංයෝජන වේ. , දිව රසයන්ගේ සංයෝජනය නොවේ. රසයෝ දිවට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා ඡන්‍ද රාගයකුත් වේද, එය එහි සංයෝජනය වේ.

’’කය ස්පර්‍ශයන්ගේ සංයෝජනය නොවේ. ස්පර්‍ශයෝ කයට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා ඡන්‍ද රාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ.

’’සිත ධර්‍මයන්ගේ සංයෝජනය නොවේ. ධර්‍මයෝ සිතට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, ඒ එහි සංයෝජන වේ.

’’ඇවැත්නි , යම් සේ කළු ගවයෙක්ද, සුදු ගවයෙක්ද, එක දම්වැලකින් හෝ ලණුවකින් හෝ බඳින ලද්දාහු වන්නාහුද, යමෙක් වනාහි කළු ගවයා සුදු ගවයාට බන්‍ධනය වෙයි. සුදු ගවයා කළු ගවයාට බන්‍ධනය වෙයි’ කියන්නේ නම් හෙතෙම සත්‍යයක් කියන්නේද?, }€“ , ඇවැත්නි, එය නොවේමැයි.,

’’ඇවැත්නි, කළු ගවයා සුදු ගවයාගේ බන්‍ධනය නොවේ. සුදු ගවයා කළු ගවයාගේ බන්‍ධනය නොවේ. ඔවුහු යම් එක දම්වැලකින් හෝ එක් ලණුවකින් හෝ බඳින ලද්දාහුද, එය එහි සංයෝජනය (බන්‍ධනය) වේ.

’’ඇවැත්නි, එපරිද්දෙන්ම ඇස රූපයන්ගේ බන්‍ධනය නොවේ. රූපයෝ ඇසට සංයෝජන (බන්‍ධන) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

’’කණ ශබ්දයන්ගේ බන්‍ධනය නොවේ. ශබ්දයෝ කණට සංයෝජන (බන්‍ධන) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයක් උපදීද, එය එහි සංයෝජනය වේ.

’’නාසය ගන්‍ධයන්ගේ බන්‍ධනය නොවේ. ගන්‍ධයෝ නාසයට සංයෝජන (බන්‍ධන) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

’’දිව රසයන්ගේ බන්‍ධනය නොවේ. රසයෝ දිවට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. , කය ස්පර්‍ශයන්ගේ බන්‍ධනය නොවේ. ස්පර්‍ශයෝ කයට සංයෝජන (බන්‍ධන) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

’’සිත ධර්‍මයන්ට සංයෝජන නොවේ. ධර්‍මයෝ සිතට සංයෝජන (බන්‍ධන) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

’’ඇවැත්නි, ඇස හෝ රූපයන්ගේ සංයෝජනය වන්නේ නම් රූප හෝ ඇසට සංයෝජනය වන්නේ නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි විසීම මනාව දුක් නැතිකිරීම පිණිස නොපෙනෙන්නේය. ඇවැත්නි, යම් හෙයකින් ඇස රූපයන්ට සංයෝජනය නොවේද, රූපයෝ ඇසට සංයෝජන නොවෙත්ද එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැතිකිරීම පිණිස පෙනෙයි.

’’ඇවැත්නි, කණ හෝ ශබ්දයන්ගේ සංයෝජනය වන්නේ නම් ශබ්ද හෝ කණට සංයෝජනය වන්නේ නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි විසීම මනාව දුක් නැතිකිරීම පිණිස නොපෙනෙන්නේය. ඇවැත්නි, යම් හෙයකින් කණ ශබ්දයන්ට සංයෝජනය නොවෙත්ද, ශබ්දයෝ කණට සංයෝජන නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැතිකිරීම පිණිස පෙනෙයි.

’’ඇවැත්නි, නාසය හෝ ගන්‍ධයන්ගේ සංයෝජනය වන්නේ නම් ගන්‍ධ හෝ නාසයට සංයෝජනය වන්නේ නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි විසීම මනාව දුක් නැතිකිරීම පිණිස නොපෙනෙන්නේය. ඇවැත්නි, යම් හෙයකින් නාසය ගන්‍ධයන්ට සංයෝජනය නොවේද, ගන්‍ධයෝ නාසයට සංයෝජන නොවෙත්ද එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැතිකිරීම පිණිස පෙනෙයි.

’’ඇවැත්නි, දිව හෝ රසයන්ගේ සංයෝජනය වන්නේ නම් රස හෝ දිවට සංයෝජන වන්නේ නම්, මනාව දුක් නැති කිරීම පිණිස මේ බ්‍රහ්මචර්‍ය්‍යා වාසය නොපෙනෙන්නේය. ඇවැත්නි යම් හෙයකින් දිව රසයන්ට සංයෝජනය නොවේද, රසයෝ දිවට සංයෝජන නොවෙත්ද එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැතිකිරීම පිණිස පෙනේ.

’’ඇවැත්නි, කය හෝ ස්පර්‍ශයන්ගේ සංයෝජනය වන්නේ නම් ස්පර්‍ශ හෝ කයට සංයෝජනය වන්නේ නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි විසීම මනාව දුක් නැතිකිරීම පිණිස නොපෙනෙන්නේය. ඇවැත්නි, යම් හෙයකින් කය ස්පර්‍ශයන්ට සංයෝජන නොවේද, ස්පර්‍ශයෝ කයට සංයෝජන නොවෙත්ද එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැතිකිරීම පිණිස පෙනෙයි.

’’ඇවැත්නි, සිත හෝ ධර්‍මයන්ට සංයෝජනය වන්නේ නම් ධර්‍මයෝ හෝ සිතට සංයෝජනය වෙත් නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යා වාසය මනාව දුක් නැතිකිරීම පිණිස නොපෙනෙන්නේය. ඇවැත්නි, යම් හෙයකින් සිත ධර්‍මයන්ට සංයෝජනය නොවේද, ධර්‍මයෝ සිතට සංයෝජන නොවෙත්ද එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයක් උපදීද, එය එහි සංයෝජන වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැසීම පිණිස පෙනෙයි.

’’ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ ඇස රූපයන්ට සංයෝජනය නොවේද, රූපයෝ ඇසට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

’’ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ කණ ශබ්දයන්ට සංයෝජනය නොවේද, ශබ්දයෝ කණට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

’’ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ නාසය ගන්‍ධයන්ට සංයෝජනය නොවේද, ගන්‍ධයෝ නාසයට සංයෝජන නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. , ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ දිව රසයන්ට සංයෝජන නොවේද, රසයෝ දිවට සංයෝජන නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

’’ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ කය ස්පර්‍ශයන්ට සංයෝජන නොවේද, ස්පර්‍ශයෝ කයට සංයෝජන නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

’’ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ සිත ධර්‍මයන්ට සංයෝජන නොවේද, ධර්‍මයෝ සිතට සංයෝජන නොවේද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

’’ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට ඇස විද්‍යාමාන වේ. භාග්‍යවතුන් වහන්සේ ඇසින් රූප දකිත්. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙළෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති සේක.

’’ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට කණ විද්‍යාමාන වේ. භාග්‍යවතුන් වහන්සේ කණින් ශබ්ද අසත්. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙළෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති සේක.

’’ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට නාසය විද්‍යාමාන වේ. භාග්‍යවතුන් වහන්සේ නාසයෙන් ගන්‍ධයන් ආඝ්‍රාණය කරත්. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙළෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති සේක.

’’ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට දිව ඇත්තේමය. භාග්‍යවතුන් වහන්සේ දිවෙන් රස විඳිත්. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙළෙසුන්ගෙන් මිදුනේ වේ.

’’ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට කය විද්‍යාමාන වේ. භාග්‍යවතුන් වහන්සේ කයෙන් ස්පර්‍ශ කරත්. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙළෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති සේක. , ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට සිත ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේට සිතින් ධර්‍මාරමුණු දනිත්. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගය නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙළෙසුන්ගෙන් මිදුනු සිත් ඇත්තාහ.

’’ඇවැත්නි, මේ ප්‍රකාරයෙන්ද මෙය දත යුතුයි. යම්සේ ඇස රූපයන්ට සංයෝජන නොවේද, රූපයෝ ඇසට සංයෝජන නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයක් උපදීද, ඒ එහි සංයෝජනය වේද,

’’යම්සේ කණ ශබ්දයන්ට සංයෝජන නොවේද, ශබ්දයෝ කණට සංයෝජන නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයක් උපදීද, ඒ එහි සංයෝජනය වේද,

’’යම්සේ නාසය ගන්‍ධයන්ට සංයෝජන නොවේද, ගන්‍ධයෝ නාසයට සංයෝජන නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයක් උපදීද, ඒ එහි සංයෝජනය වේද,

’’යම්සේ දිව රසයන්ට සංයෝජන නොවේද, රසයෝ දිවට සංයෝජන නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයක් උපදීද, ඒ එහි සංයෝජනය වේද,

’’යම්සේ කය ස්පර්‍ශයන්ට සංයෝජන නොවේද, ස්පර්‍ශයෝ කයට සංයෝජන නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයක් උපදීද, ඒ එහි සංයෝජනය වේද,

’’යම්සේ සිත ධර්‍මයන්ට සංයෝජන නොවේද, ධර්‍මයෝ සිතට සංයෝජන නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයක් උපදීද, ඒ එහි සංයෝජනය වේයයි, වදාළේය.