සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
6. අවිජ්ජා වර්‍ගය
5. ආසව සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
’’ස්වාමීනි, කෙසේ නම් දන්නහුගේ, කෙසේ දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්ද?
’’මහණ, ඇස වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. රූපයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. චක්ඛු විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. චක්ඛු සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
’’චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
’’මහණ, කණ වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ශබ්දයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. සෝත විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. සෝත සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
’’සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
’’මහණ, නාසය වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ගන්‍ධයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ඝාණ විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ඝාණ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
’’ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
’’මහණ, දිව වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. රසයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ජිව්හා විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ජිව්හා සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
’’ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
’’මහණ, කය වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ස්පර්‍ශයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. කාය විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. කාය සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
’’කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
’’මහණ, සිත වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ධර්‍මයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මනෝ විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මනෝ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
’’මහණ මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්’’ යයි වදාළ සේක.