සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

1. අනිච්ච වර්‍ගය

6. (බාහිරායතන) අනාත්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, රූපයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ’’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය’’ යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.’’ ’’ශබ්දයෝ, ගන්‍ධයෝ, රසයෝ, ස්පර්‍ශයෝ සහ ධර්‍මයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ’’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය’’ යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

’’මෙසේ දක්නාවූ, ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, රූපයන් කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙනුයේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. උත්පත්තිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගණීය’’ යි (වදාළ සේක.)