සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
1. අනිච්ච වර්‍ගය
7. අනිත්‍ය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, අනිත්‍ය වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ඇසෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත ඇසටද ආශා නොකරයි. දැන් පවත්නා ඇස සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
’’අතීතවූද, අනාගත වූද, කණ, අනිත්‍ය වේ. දැන් පවත්නා කණ ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ කණෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත කණටද ආශා නොකරයි. දැන් පවත්නා කණ සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
’’අතීතවූද, අනාගත වූද, නාසය, අනිත්‍ය වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ නාසයෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත නාසයටද ආශා නොකරයි. දැන් පවත්නා නාසය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
’’අතීතවූද, අනාගත වූද, දිව, අනිත්‍ය වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ දිවෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත දිවටද ආශා නොකරයි. දැන් පවත්නා දිව සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
’’අතීතවූද, අනාගත වූද, ශරීරය, අනිත්‍ය වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ශරීරයෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත ශරීරයටද ආශා නොකරයි. දැන් පවත්නා ශරීරය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
’’අතීතවූද, අනාගත වූද, සිත, අනිත්‍ය වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ සිතෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත සිතටද ආශා නොකරයි. දැන් පවත්නා සිත සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.’’