සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

6. අවිජ්ජා වර්‍ගය

9. සබ්බූපාදානපරිඤ්ඤා සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

’’මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්‍මය තොපට ධර්‍මය දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්‍මය කවරේද?

’’ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපයන් කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඥානය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ’මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගණියි.

’’කණද, ශබ්දයන්ද නිසා සෝත විඤ්ඤාණය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. සෝත විඥානය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ’මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගණියි.

’’නාසයද, ගන්‍ධයන්ද නිසා ඝාණ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඥානය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ’මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගණියි.

’’දිවද, රසයන්ද නිසා ජිව්හා විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඥානය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ’මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගණියි.

’’කයද, ස්පර්‍ශයන්ද නිසා කාය විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. කාය විඥ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ’මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගණියි.

’’සිතද, ධර්‍මයන්ද නිසා මනෝ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. මනෝ විඥානය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ’මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගණියි. මහණෙනි, මේ වනාහි සියලු උපාදානයන් දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්‍මය වේය’’ යි වදාළ සේක.