සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

9. ඡන්න වර්‍ගය

1. පලොක ධම්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

’’ස්වාමීනි, ලෝකය ලෝකයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකයයි කියනු ලැබේද?,

’’ආනන්‍දය, යමක් වනාහි බිඳෙන ස්වභාවය ඇත්තේද, මෙය ආර්‍ය්‍ය විනයෙහි ලෝකයයි කියනු ලැබේ. ආනන්‍දය, කුමක් බිඳෙන ස්වභාව ඇත්තේද?

’’ආනන්‍දය, ඇස වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. රූපයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. චක්ඛු විඤඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. චක්ඛු සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා දුක් වූ හෝ සැපවූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය.

’’ආනන්‍දය, කණ වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. ශබ්දයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. සෝත විඤඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. සෝත සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා දුක් වූ හෝ සැපවූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය.

’’ආනන්‍දය, නාසය වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. ගන්‍ධයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. ඝාණ විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. ඝාණ සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය.

’’ආනන්‍දය, දිව වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. රසයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. ජිව්හා විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. ජිව්හා සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය.

’’ආනන්‍දය, කය බිඳෙන ස්වභාව ඇත්තේය. ස්පර්‍ශයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. කාය විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. කාය සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. කාය සමඵසසය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන සවභාව ඇත්තේය.

’’ආනන්‍දය, සිත බිඳෙන ස්වභාව ඇත්තේය. ධර්‍මයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. මනෝ විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. මනෝ සම්ඵස්සය බිඳෙන සවභාව ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය.

’’ආනන්‍දය, යමක් වනාහි බිඳෙන ස්වභාව ඇත්තේද, හෙතෙම ආර්‍ය්‍ය විනයෙහි ලෝකයයි කියනු ලැබේය’’ යි (වදාළ සේක.)