සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
9. ඡන්න වර්‍ගය
2. සුඤඤ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
’’සවාමීනි, ලෝකය සුන්‍යය, ලෝකය සුන්‍යයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකය සුන්‍යයයි කියනු ලැබේද?,
’’ආනන්‍දය, යම් හෙයකින් වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේද, එහෙයින් ලෝකය සුන්‍යයයි කියනු ලැබේ. ආනන්‍දය, කුමක් නම් ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේද,
’’ආනන්‍දය, ඇස වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. රූපයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. චක්ඛු විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. චක්ඛු සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. චක්ඛු සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ.
’’ආනන්‍දය, කණ වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ශබ්දයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. සෝත විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. සෝත සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. සෝත සම්ඵස්සය නිසා දුක් වූ හෝ සැපවූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ.
’’ආනන්‍දය, නාසය වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ගන්‍ධයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ඝාණ විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ඝාණ සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ඝාණ සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ.
’’ආනන්‍දය, දිව වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. රසයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ජිව්හා විඤඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ජිව්හා සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ජිව්හා සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ.
’’ආනන්‍දය, කය වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ස්පර්‍ශයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. කාය විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. කාය සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. කාය සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ, ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ.
’’ආනන්‍දය, සිත වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ධර්‍මයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. මනෝ විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. මනෝ සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. මනෝ සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ.
’’ආනන්‍දය, යම් හෙයකින් වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේද, එහෙයින් ලෝකය සුන්‍යයයි කියනු ලැබේයයි වදාළ සේක.