සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
4. ජම්බුඛාදක සංයුත්තය
1. නිබ්බාණ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කෙරෙති. එකල්හි ජම්බුඛාදක පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ජම්බුඛාදක පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය සැළකෙළේය.
“ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, නිර්වාණය නිර්වාණයයි කියනු ලැබේ. ඇවැත්නි, කුමක් නිර්වාණය වේද” යනුයි.
“ඇවැත්නි, රාගය ක්ෂය කිරීමට හේතුවූ යමක් වේද, ද්වෙෂය ක්ෂය කිරීමට හේතුවූ යමක් වේද, මොහය ක්ෂය කිරීමට හේතුවූ යමක් වේද, මේ නිර්වාණයයි කියනු ලැබේ.
“ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේද? ප්‍රතිපදාවක් ඇත්තේද?”
“ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.”
“ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවත්නාවූ මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කවරීද?”
“ඇවැත්නි, මේ අඩ්ග අටකින් යුත් ආර්යමාර්ගයම නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වන්නේය. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුය, ඇවැත්නි, මේ මාර්ගය මේ ප්‍රතිපදාව නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවත්නේය.
“ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට යහපත් මාර්ගයකි. යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරීපුත්‍රය අප්‍රමාදයට සුදුසුය.”