සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

4. ජම්බුඛාදක සංයුත්තය

6. පරමස්සාස සූත්‍රය

“ඇවැත්නි ශාරිපුත්‍රය, අතිශයින් සැනසීමට පත්වූයේය. අතිශයින් සැනසීමට පත්වූයේයයි කියනු ලැබේ. ඇවැත්නි, කොපමණකින් අතිශයින් සැනසීමට පැමිණියේ වේද?”

“ඇවැත්නි, භික්ෂුව යම් තැනක පටන් ස්පර්ශායතන, සයදෙනාගේ පහළවීමද දුරුවීමද ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන උපාදානයන්ගෙන් මිදුනේ වේද ඇවැත්නි, එපමණකින් අතිශයින් සැනසීමට පැමිණියේයයි කියනු ලැබේ.

“ඇවැත්නි, මේ අතිශයින් සැනසීමට පැමිණීමට මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?”

“ඇවැත්නි, මේ පරම සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇත. ප්‍රතිපදාවක් ඇත.”

“මේ අතිශයින් සැනසීම ප්‍රත්‍යක්ෂකර ගැනීමට මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?”

“මේ පරම සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම වෙයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේය. මේ අතිශයින් සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගය වෙයි, ප්‍රතිපදාව වෙයි.”

“ඇවැත්නි, මේ අතිශයින් සැනසීම ප්‍රත්‍යක්ෂකර ගැනීමට යහපත් මාර්ගයකි, යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරිපුත්‍රය, අප්‍රමාදයට සුදුසුද වේ.