සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

4. ජම්බුඛාදක සංයුත්තය

7. වේදනා සූත්‍රය

“ඇවැත් ශාරිපුත්‍රය, වේදනාව වේදනාවයයි කියනු ලැබේ. ඇවැත්නි, වේදනාව කවරේද?”

“ඇවැත්නි, මේ වේදනා තුනෙකි. සැප වේදනාය, දුක් වේදනාය, උපෙක්ෂා වේදනාය යන මොහුය. ඇවැත්නි, මේ වේදනා තුනයි.

“ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇත්තේද? ප්‍රතිපදාවක් ඇත්තේද?”

“ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇත, ප්‍රතිපදාවක් ඇත.”

“මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?”

“ඇවැත්නි මේ වේදනාවන්ගේ පිරිසිඳ දැනීමට සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය වෙයි ඇවැත්නි, මේ වේදනාවන්ගේ පිරිසිඳ දැනීමට මේ මාර්ගයයි මේ ප්‍රතිපදාවයි.”

“ඇවැත්නි, මේ වේදනාවන්ගේ පිරිසිඳ දැනීමට යහපත් මාර්ගයකි, යහපත් ප්‍රතිපදාවකි. ඇවැත්නි, ශාරිපුත්‍රය, අප්‍රමාදයටද සුදුසුයි.”