සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
6. මොග්ගල්ලාන සංයුත්තය
1. සවිතක්ක සූත්‍රය
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු මහසිටාණන්ගේ ජේතවන නම් ආරාමයෙහි වාසය කරයි. එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ‘ඇවැත්නි, මහණෙනි’යි කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’යි “ආයුෂ්මත් මහාමුගලන් තෙරුන්ට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම, මෙසේ වදාළසේක ඇවැත්නි, මෙහි රහසිගතවූ හුදකලාවූ මට මෙසේ සිතට විතර්කයක් පහළවිය.
[2] “ප්‍රථමධ්‍යානය ප්‍රථමධ්‍යානයයි කියනු ලැබේ. ප්‍රථම ධ්‍යානය කවරේද? කියායි. ඇවැත්නි, ඒ මට මේ සිත විය. මහණ, මේ ශාසනයෙහි කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද? මේ ප්‍රථමධ්‍යානයයි කියනු ලැබේ.
[3] “ඇවැත්නි, ඒ මම වනාහි කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, මේ විහරණයෙන් වාසය කරන්නාවූ මාහට කාම සහගතවූ හැඟීම් මෙනෙහි කිරීම් පහළවෙති. ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා කරා පැමිණ, මෙසේ වදාළසේක. “මොග්ගල්ලානය මොග්ගල්ලානය බ්‍රාහ්මණය, ප්‍රථමධ්‍යානයෙහි ප්‍රමාද නොවව. ප්‍රථමධ්‍යානයෙහි සිත පිහිටුව, ප්‍රථමධ්‍යානයෙහි සිත එකඟ කරව, ප්‍රථමධ්‍යානයෙහි සිත තබාගනුව කියායි.
[4] “ඇවැත්නි, ඒ මම පසුව කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. ඇවැත්නි, යමෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවකයෙක් මහත් නුවණැති බවට පැමිණියේයයි මනාකොට කියන්නේ නම් ශාස්තෲන්වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසාම මනාකොට කියන්නේය.”