සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

6. මොග්ගල්ලාන සංයුත්තය

8. නෙවසඤ්ඤානාසඤ්ඤා යතන සූත්‍රය

“නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයයි කියනු ලැබේ. ඇවැත්නි, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කවරේද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයිද මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයයි කියනු ලැබේ.

“ඇවැත්නි, ඒ මම සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට ආකිඤ්චඤ්ඤායතන සහගතවූ සංඥා මනසිකාරයෝ උපදිත්.

“ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ මා කරා ඍද්ධියෙන් පැමිණ මෙය වදාළසේක. ‘මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි අප්‍රමාදවව. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත පිහිටුව. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත එකඟ කරව. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත තබව’ කියායි.

“ඇවැත්නි, ඒ මම පසුව සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.

“ඇවැත්නි, යම් ශ්‍රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහය කරන ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේ නම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”