සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

10. අව්‍යාකත සංයුත්තය

8. ඛන්ධ සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතු සිහිකටයුතු කථාවකොට නිමවා එක්පසෙක හුන්නේය. වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේගෙන්, “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? ලෝකය ශාස්වතදැයි” ඇසීය.

[2,3] (මේ ඡෙද මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 8,9 වෙනි ඡෙද මෙනි.)

[4] “වච්ඡය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ රූපය ආත්මයයි දකිත්. රූපය ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි රූපය ඇතැයි කියා හෝ දකිත්. රූපයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්.

“වේදනාව ආත්මයයි දකිත්. වේදනාව ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි වේදනාව ඇතැයි කියා හෝ දකිත්. වේදනාවෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්.

“සංඥාව ආත්මයයි දකිත්. සංඥාව ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි සංඥාව ඇතැයි කියා හෝ දකිත්. සංඥාවෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්.

“සංස්කාරය ආත්මයයි දකිත්. සංස්කාරය ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි සංස්කාරය ඇතැයි කියා හෝ දකිත්. සංස්කාරයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්.

“විඤ්ඤාණය ආත්මයයි දකිත් විඤ්ඤාණය ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇතැයි කියා හෝ දකිත්. විඤ්ඤාණයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්.

[5] “එසේහෙයින් මෙසේ විචාරණලද අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ලෝකය ශාස්වතය කියාද ලොකය අශාස්වතයයි කියාද ලොකය අන්තයක් ඇත්තේයයි කියාද, ලොකය අන්තයක් නැත්තේයයි කියාද, එය ජීවය එයම ශරීරයයි කියාද, අනිකක් ජීවය අනිකක් ශරීරයයි කියාද, සත්වතෙමේ මරණින් මතු වේයයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවේයයි කියාද, සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවේ නොවන්නේද නොවේයයි කියාද, මෙසේ ප්‍රකාශ කිරීම වෙයි.

[6] “අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ රූපය ආත්මය වශයෙන් නොදකිත්. රූපය ඇත්තහු ආත්මයයි හෝ නොදකිත්. ආත්මය කෙරෙහි රූපය ඇතැයි හෝ නොදකිත්. රූපයෙහි ආත්මය ඇතැයි හෝ නොදකිත්.

“වේදනාව ආත්මය වශයෙන් නොදකිත් වේදනාව ඇත්තහු ආත්මයයි හෝ නොදකිත්. ආත්මය කෙරෙහි වේදනාව ඇතැයි හෝ නොදකිත්. වෙදනාවෙහි ආත්මය ඇතැයි හෝ නොදකිත්.

“සංඥාව ආත්මය වශයෙන් නොදකිත්. සංඥාව ඇත්තහු ආත්මයයි හෝ නොදකිත්. ආත්මය කෙරෙහි සංඥාව ඇතැයි හෝ නොදකිත්. සංඥාවෙහි ආත්මය ඇතැයි හෝ නොදකිත්.

“සංස්කාරය ආත්මය වශයෙන් නොදකිත්. සංස්කාරය ඇත්තහු ආත්මයයි හෝ නොදකිත්. ආත්මය කෙරෙහි සංස්කාරය ඇතැයි හෝ නොදකිත්. සංස්කාරයෙහි ආත්මය ඇතැයි හෝ නොදකිත්.

“විඤ්ඤාණය ආත්මවශයෙන් හෝ නොදකිත්. විඤ්ඤාණ ඇත්තහු ආත්මය වශනේ හෝ නොදකිත්. ආත්මයෙහි විඤ්ඤාණය ඇතැයි හෝ නොදකිත්. විඤ්ඤාණයෙහි ආත්මය ඇතැයි හෝ නොදකිත්.

[7] “එසේ හෙයින් මෙසේ අසන ලද තථාගතයන් වහන්සේගේ ලොකය ශාස්වතයයි කියාද, ලොකය අශාස්වතයයි කියාද, ලොකය අන්තයක් ඇත්තේයයි කියාද, ලොකය අන්තයක් නැත්තේයයි කියාද, එය ශරීරය එයම ජීවයයි කියාද, ජීවය අනිකකි ශරීරය අනිකකැයි කියාද, සත්ව තෙමේ මරණින් මතු වේයයි කියාද, සත්ව තෙමේ මරණින් මතු නොවේයයි කියාද, සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේද නොවෙයි කියාද මෙසේ ප්‍රකාශ නොකිරීම වේයයි” කීය.

[8] ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම අසුනෙන් නැගිට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහාමුගලන් ස්ථවිරයන් සමග සතුටු විය. සතුටු විය යුතුවූ සිහි කටයුතු කථාවකොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්ගෙන් “පින්වත් මොග්ගල්ලායනයෙනි ලොකය ශාස්වතදැයි ඇසීය.

[9, 10] (මේ ඡෙද මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 2, 3 ඡෙදය මෙනි.)

[11, 12, 13, 14] (මේ ඡෙද මේ සූත්‍රයේ 4, 5, 6, 7 ඡෙද මෙන් වේ.)

[15] “පින්වත් මොග්ගල්ලානයෙනි, ආශ්චර්යය. පින්වත් මොග්ගල්ලානයෙනි, අද්භූතය. යම් කරුණෙක්හි ශාස්තෲහුගේද ශ්‍රාවකයාගේද යම් මේ ධර්මපදයෙහි අර්ථයෙන් අර්ථය, ව්‍යංජනයෙන් ව්‍යංජනය සැසඳෙයි සමවෙයි. වෙන් නොවෙයි. පින්වත් මොග්ගල්ලානයෙනි, දැන් මම ශ්‍රමණ ගෞතමයන් කරා පැමිණ මේ කාරණය විචාළෙමි. මට පින්වත් මොග්ගල්ලාන තෙමේ යම්සේද එමෙන් ශ්‍රමණ ගෞතම තෙමේද මේ පදයන්ගෙන් මේ ව්‍යංජනයන්ගෙන් මේ කාරණය ප්‍රකාශ කෙළේය. පින්වත් මොග්ගල්ලානය, ආශ්චර්යයි. පින්වත් මොග්ගල්ලානය, අද්භූතයි යම් මේ ධර්ම පදයෙක්හි ශාස්තෲහුගේද, ශ්‍රාවකයාගේද අර්ථයෙන් අර්ථය ව්‍යංජනයෙන් ව්‍යංජනය වචනයෙන් වචනය සැසඳෙන්නේය. සමවන්නේය. වෙන් නොවන්නේය”යි කීය.