සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

7. එකධම්ම පෙය්‍යාල වර්ගය

1. කල්‍යාණමිත්ත විවෙක නිස්සිත සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළහ.

[2] “මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීමට එක ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර නම් එක් ධර්මයක්ද යත්? යම් ඒ යම් කල්‍යාණ මිත්‍රයින් ඇති බවක් වේද එයයි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යන මෙය කැමති විය යුතුයි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයිද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද?

[3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් වචනය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් ආජීවය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් ව්‍යායාමය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් සතිය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් සමාධිය වඩයි.

[4] “මහණෙනි, මෙසේ වනාහි කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.