සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
1. ගංගාපෙය්‍යාල වර්ගය
1. පඨම පාචීනනින්න සූත්‍රය
[1] (මේ වර්ගයේ සූත්‍ර සියල්ල ජේතවනාරාමයේදී දේසනා කරන ලදී. - 8 වෙනි වර්ගයේ 1 වෙනි ඡෙදය මෙනි.)
[2] “මහණෙනි, ගංගානම් ගඟ පෙරදිගට නැමී පෙර දිගට හැරී පෙරදිගට බරව පවත්නේ යම්සේද? මහණෙනි, එසේම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නාවූ මහණතෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වෙයි. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නාවූ මහණතෙම කෙසේ නිවනට නැමුණේද නිවනට හැරුණේ නිවනට බරවූයේවේද?
[3] “මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයිද, විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩයිද, විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරොධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්‍යක් වචනය වඩයිද විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් කර්මාන්තය වඩයිද, විවේකය අසුරු කළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්‍යක් ආජීවය වඩයිද, විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්‍යක් ව්‍යායාමය වඩයිද, විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරොධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්‍යක් සතිය වඩයිද විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සමාධිය වඩයිද
[4] “මහණෙනි, මෙසේ වනාහී ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වේයයි වදාළසේක.
(මෙසේ ගංගා පෙය්යාලයේ පටන් ඒසනා වර්ගය දක්වා ඇති සූත්‍ර 34 ද ඕඝ වර්ගයේ ප්‍රථම සූත්‍ර 10 ද මේ අනුසාරයෙන් මෙහිද යොදාගත යුතුයි.)