සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
5. චක්කවත්ති වර්ගය
8. ආදිච්ච සූත්‍රය
[2] “මහණෙනි, යම් මේ අරුණ නැඟීමක්වේද, එය උදාවන්නාවූ සූර්යයාගේ පෙරටුව ඇතිවන්නකි. ඒ පෙරනිමිත්තකි. මහණෙනි, එපරිද්දෙන් වනාහි යම් මේ කල්‍යාණමිත්‍රයන් ඇතිබවක් වේද, ඒ භික්ෂුවහට සප්ත බොධ්‍යංගයන් ඉපදීමට පූර්වංගම එය පෙරනිමිත්තකි. මහණෙනි, සප්ත බොධ්‍යාංගයන් වැඩෙන්නේය. සප්ත බොධ්‍යාංගයන් නැවත නැවත පුරුදුකරන්නේය යන මෙය කල්‍යාණ මිත්‍රයන් ඇති භික්ෂුවට කැමතිවිය යුතුය.
මහණෙනි, කෙසේ නම් කල්‍යාණ මිත්‍රයන් ඇති මහණ තෙම සප්ත බොධ්‍යාංගයන් වඩයිද, නැවත නැවත පුරුදු කරයිද?
[3] “මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරොධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සතිසම්බොජ්ඣාංගය වඩයි.
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරොධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොධ්‍යංගය වඩයි.
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරොධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොධ්‍යංගය වඩයි.
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරොධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොධ්‍යංගය වඩයි.
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරොධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොධ්‍යංගය වඩයි.
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරොධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සමාධි සම්බොධ්‍යංගය වඩයි.
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරොධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොධ්‍යංගය වඩයි.
[4] “මහණෙනි, මෙසේ වනාහි කල්‍යාණ මිත්‍රයන් ඇති මහණතෙම සප්ත බොධ්‍යංගයන් වඩයි, නැවත නැවත පුරුදු කරයි.”