සංයුත්තනිකායො
මහා වර්ගය
5. සම්මප්පධාන සංයුත්තය
3. බලකරණීය වර්ගය
1–12. බලකරණීය ආදී සූත්‍ර දොළහ
බල සූත්‍රය.
[1] (මේ ඡෙදය 1 වර්ගයේ 1 සූත්‍රයේ මෙනි)
[2] “මහණෙනි, යම්කිසි වීර්‍ය්‍යයෙන් කළයුතු කර්මාන්තයෝ කරනු ලැබෙත්ද, වීර්‍ය්‍යයෙන් කළයුතු ඒ සියලු කර්මාන්ත පොළොව නිසා පොළොවෙහි පිහිටා කරනු ලැබෙත්.
“මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටා සතර සම්‍යක් ප්‍රධානයන් වඩයි. සතර සම්‍යක් ප්‍රධානයන් බහුල කරයි. මහණෙනි, මහණතෙම කෙසේ නම් සීලය නිසා සීලයෙහි පිහිටා සතර සම්‍යක් ප්‍රධානයන් වඩයිද, සතර සම්‍යක් ප්‍රධානයන් බහුල කරයිද?
[3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍ය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කැමැත්ත දක්වයි. වෑයම් කරයි. වීර්‍ය්‍ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි.
[4] “නූපන් කුසල ධර්මයන්ගේ ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍ය උපදවයි. සිත ඔසවයි. උත්සාහ කරයි. උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නුමුළා වීම පිණිස බොහෝ බව පිණිස මහත් බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍ය උපදවයි. සිත ඔසවයි. උත්සාහ කරයි.
[5] “මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම සීලය නිසා සීලයෙහි පිහිටා සතර සම්‍යක් ප්‍රධානයන් වඩයි. සතර සම්‍යක් ප්‍රධානයන් බහුල කරයි.
2-12.
(සම්මප්පධානයන්ගේ වශයෙන් බලකරණීය වර්ගයෙහි ඉතිරි සූත්‍ර එකොළොසද මෙසේ යොදාගැනීමෙන් මේ වර්ගය සම්පූර්ණ වේ.)
බලකරණීයවග්ගො තතියො.