සංයුත්තනිකායො
මහා වර්ගය
10. ආනාපාන සංයුත්තය
1. එකධම්ම වර්ගය
4. ඵලමය ආනාපාන සූත්‍රය
[2] “මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයිද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට අස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝ කොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමි’ යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.
[3] “මුල මැද අග යන සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමියි යන අදහසින් ආස්වාස කරන්නෙමියි හික්මෙන්නේය. සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්තසංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්තසංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටුකරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟකරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරොධය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරොධය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ආස්වාස කරන්නෙමියි ආස්වාස කරමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි ප්‍රස්වාස කරමියි හික්මෙයි.
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපානා සතිය මහත් ඵල මහත් ආනිසංස ඇත්තේ වෙයි. මහණෙනි මෙසේ වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපානා සතිය හෙතුකොට ගෙන මේ ආත්මයෙහිම රහත් ඵලය හෝ ස්කන්ධ ශෙෂය ඇතිකල්හි අනාගාමි බව යන ඵල දෙදෙනාගෙන් එක්තරා ඵලයක් කැමතිවිය යුතුයි.