සංයුත්තනිකායො
මහා වර්ගය
10. ආනාපාන සංයුත්තය
1. එකධම්ම වර්ගය
5. සත්ත ඵල ආනාපාන සූත්‍රය
(මේ ඡෙදය 4 වන සූත්‍රයේ 1 ඡෙදය හා සමයි.)
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වේද? මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයට ගියේ හෝ ගහක් මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආස්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය. දීර්ඝ කොට ආස්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ආස්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝකොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.
“මුල මැද අග යන සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමියි යන අදහසින් ආස්වාස කරන්නෙමියි හික්මෙන්නේය. සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැන ගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරොධය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරොධය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය හෙතුකොට ගෙන ඵල සතක් ආනිසංස සතක් කැමතිවිය යුතුයි. කවර ඵල සතක් කවර ආනිසංස සතක්ද යත්?
“පළමුකොට මේ ආත්මයෙහිම රහත් වෙයි. ඉදින් පළමුකොට මේ ආත්මයෙහිම රහත් ඵලය නොලබයිද, නැවත මරණ කාලයෙහි රහත් ඵලය ලබයි. ඉදින් පළමුකොට මේ අත්බැව්හිම රහත් ඵලය අවබොධ නොකෙරේද, ඉදින් මරණ කාලයෙහිත් රහත් ඵලය අවබොධ නොකෙළේද, නැවත ඔරම්භා ගීය සංයෝජන පස නැතිකිරීමෙන් අන්තරා පරිනිබ්බයී නම් අනාගාමි වෙයි. උපහච්ච පරිනිබ්බායි නම් අනාගාමි වෙයි. අසංඛාර පරිනිබ්බායී නම් අනාගාමි වෙයි. සසංඛාර පරිනිබ්බායී නම් අනාගාමි වෙයි. උද්ධංසොත අකනිට්ඨගාමී නම් අනාගාමි වෙයි
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය හෙතුකොට ගෙන මේ ඵල සත ආනිසංස සත කැමති විය යුතුයි.