සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
5. පපාත වර්ගය
10. දුතිය සිනෙරුසක්ඛරොපම සූත්‍රය
“මහණෙනි, මුං සතක් පමණවූ ගල්කැටය තිබියදී මහාමේරු පර්වතය ක්ෂයවීමට කෙළවර වීමට යන්නේනම් මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ක්ෂයවූ, කෙළවරවූ, ඒ මහාමේරු පර්වතය මහත්ද, ඉතිරිවූ මුංඇට සතක් පමණවූ ගල මහත්ද?
“ස්වාමීනි, ඒ ක්ෂයකළ කෙළවර කළ මහාමේරු පර්වතයම ඉතා මහත්ය. ඉතිරිවූ මුංඇට සතක් පමණවූ ගල ඉතා ස්වල්පය. ක්ෂය කළ කෙළවර කළ මහාමේරු පර්වතය හා සමකරන කල මුංඇට සතක් පමණවූ ගල ගණනකටද නොගැනේ. උපමාවටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මෙය දුකයයි තත්වූ පරිදි දනීද මේ දුකට හේතුවයයි තත්වූ පරිදි දනීද මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිදි දනීද, මේ දුක නැති කිරීමේ මගයයි තත්වූපරිදි දනීද චතුස්සත්‍යය අවබොධ කළාවූ සෝවාන් ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් ක්ෂයකරනලද කෙළවර කරනලද දුකම අතිශයින් විශාලය. ක්ෂයකරන ලද, කෙළවර කරන ලද පළමු දුඃස්කන්ධය හා සසඳන කල සත් සත්භාවයකට සීමාවූ ඉතිරිවූ දුක ගණනකටද නොගැනේ. උපමාවටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.
පපාතවග්ගො පඤ්චමො.