ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

3. මහා වර්ගය

9. වාසෙට්ඨ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානංගල නුවර ඉච්ඡානංගල වනලැහැබෙහි වාසය කරණසේක. එකල්හි වනාහි බොහෝ ප්‍රසිද්ධ මහාසාර බ්‍රාහ්මණයෝ ඉච්ඡානංගලයෙහි වාසය කෙරෙත්. ඒ කවරහුද, වංකී, තාරුක්ඛ, පොක්ඛරසාතී, ජානුස්සොනී, තොදෙය්‍ය යන බ්‍රාහ්මණයෝද අනිකුදු ප්‍රසිද්ධ මහාසාර බ්‍රාහ්මණයෝද වෙති. පා සුඛය පිණිස සක්මන් කරණ හැසිරෙන වාසෙට්ඨ භාරද්වාජ යන තරුණයන් අතර මේ කථාව විය.

පින්වත, කෙසේ බ්‍රාහ්මණයෙක්වේද, භාරද්වාජ මානවක තෙම පින්වත, යම්තැනෙක සිට මවු පිය දෙපසින් යහපත්ව උපන්නේවේද, අමිශ්‍ර කුසක් ඇති බැමිණියකගේ කුසින් උපන්නේද, සත්වෙනි පිය පරම්පරාව දක්වා හීන ජාතියයි කියා බැහැර නොකරණ ලද්දේ ආක්‍රොශ නොකරණ ලද්දේ වේද, මෙපමණකින් බ්‍රාහ්මණයෙක් වේයයි කීයේය.

වාසෙට්ඨ තරුණතෙම පින්වත යම්තැනක සිට සිල්වත් වේද, සිරිත්වලින් යුක්තවේද, මෙපමණකින් බමුණෙකුවේ යයි කීයේය. භාරද්වාජ තරුණතෙමේ වාසෙට්ඨ තරුණයාට අවබොධ කරවන්ට නොහැකිවිය. වාසෙට්ඨ තරුණතෙම භාරද්වාජ තරුණයාට අවබොධ කරන්නට නොහැකිවිය. ඉක්බිති වාසෙට්ඨ තරුණතෙම භාරද්වාජ තරුණයාට කථා කෙළේය. “පින්වත් භාරද්වාජය, ශාක්‍ය වංශයෙන් පැවිදිවූ ශ්‍රමණ ගෞතමතෙමේ ඉච්ඡානංගල නුවර ඉච්ඡානංගල වනලැහැබෙහි වාසයකරණසේක. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය.

(මෙහි 3 වර්ගයේ 33 සූත්‍රයේ 2 (ii) ඡෙදය යෙදිය යුතුයි.)

පින් ඇත්තේයයි මෙබඳු යහපත් කීර්ති ශබ්දයක් පැනනැංගේය. පින්වත් භාරද්වාජය යමු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණෙමු. පැමිණ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් මේ කාරණය විචාරමු. අපට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම්විධියක ප්‍රකාශකෙරේද, එසේ එය දරමු. “පින්වත එසේයයි” භාරද්වාජ තරුණතෙම වාසෙට්ඨ තරුණයාට පිළිතුරු දුන්නේය. ඉක්බිති වාසෙට්ඨ භාරද්වාජ තරුණයෝ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාවකොට නිමවා එකත් පසෙක හිඳගත්තාහ. එකත් පසෙකහුන් වාසෙට්ඨ මානවක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

“අපි ත්‍රිවිද්‍යා ඇත්තෝයයි ආචාර්යයන් විසින් කියන ලද්දෙමු. අපිද එසේ කියමු. දෙදෙනාගෙන් මම පොක්ඛරසාතිගේ ගෝලයෙක්මි. මේ තෙමේ තාරුක්ඛගේ ගෝලයෙකි.

“ත්‍රිවිද්‍යායයි යමක් කියන ලද ද අපි එහි නිෂ්ටාවට ගියෙමු. පද වශයෙන් ප්‍රකාශ කිරීමෙන් වෙදයෙහි ගුරුවරුන් සමානවෙමු.

“ගෞතමයන්වහන්ස, ඒ අපට විවාදයක් ඇත්තේය. එනම් භාරද්වාජතෙම ජාතියෙන් බ්‍රාහ්මණයෙක් වේයයි කියයි. ඇස් ඇත්ත, මම ක්‍රමයෙන් බ්‍රාහ්මණයෙක් වෙමියි කියමි.

“ඒ අපි ඔවුනොවුන් පිළිගන්වන්නට නොහැකි වෙමු. බුදුන් යයි ප්‍රකට භාග්‍යවතුන් වහන්සේගෙන් අසන්නට පැමිණියෙමු.

“ඇඳිලි බැඳගත් ජනයෝ ලෝකයෙහි සම්පූර්ණවූ චන්ද්‍රයා වැනි ගෞතමයන් වහන්සේ වෙත වඳිමින් නමස්කාර කරත්.

“ලොකයට පහළ වූ ඇසක් වැනි ගෞතමයන් වහන්සේගෙන් විචාරමු. උත්පත්තියෙන් බ්‍රාහ්මණයෙක් වේද, නොහොත් කර්මයෙන් බ්‍රාහ්මණයෙක් වේද නොදන්නා හෙයින් අපි බ්‍රාහ්මණයා යම් පරිද්දෙකින් දනිමුද? එසේ අපට ප්‍රකාශ කරණු මැනවි.

“භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ඨය මම තොපට ඔවුන් පිළිවෙළින් ඒ වූ පරිද්දෙන් වෘක්ෂලතාවන්ගේද සත්වයන්ගේද ජාති භේදය ප්‍රකාශ කරන්නෙමි. ජාතීහු අනිකක් අනිකක් මය. (නා නා ප්‍රකාරය.)

“තෘණයන්හිත්, වෘක්ෂයන්හිත්, ජාති භෙදය දනිව්. එතකුදු වුවත් අපි තෘණය, අපි වෘක්ෂයයි නො කියයි. ජාතීහු නා නා ප්‍රකාරය.

“ඉක්බිති පණුවන් කෙරෙහිද පළගැටියන් කෙරෙහිද කූඹි හින්නන් කෙරෙහිද, ජාතිභේද ඇත. ඔවුන්ට මුල් වූ සතුන්ට සමාන ජාති ඇත්තේය. ජාතීහු නා නා ප්‍රකාරය.

“කුඩාවූද ලොකුවූද, සිව්පාවුන් කෙරෙහිද ජාති භෙදයවේ. ඔවුන්ට මුල් වූ සතුන්ට සමාන ජාති ඇත්තේය. ජාතිය නා නා ප්‍රකාරය.

“දික් පිටක් ඇති බඩ පාදයන් කොටා ඇති සර්ප ජාතීන් කෙරෙහිද, ජාතිභෙදය වේ. ඔවුන්ට මුල්වූ සතුන්ට සමාන ජාති ඇත්තේය. ජාතිය නා නා ප්‍රකාරය.

“උදක නම් වූ ජලයෙහි හැසිරෙන මසුන් කෙරෙහිද, ජාතිභේදය කිව යුතුය. ජාතිය නා නා ප්‍රකාරය ඔවුන්ටද මුල් වූ සතුන්ට සමාන ජාති ඇත්තේය.

“පියාපත් වාහන කොට ඇති පක්ෂීන් කෙරෙහිද ජාති භෙදය කිවයුතුය. ඔවුන්ට මුල්වූ සතුන්ට සමාන ජාති ඇත්තේය. ජාතිය නානා ප්‍රකාරය.

“මේ ජාතීන්හි බොහෝ සෙයින් යම්සේ මුල්වූ වස්තුව ජාතියවේද, එසේ මනුෂ්‍යයන් අතරෙහි බොහෝසෙයින් ජාති අඳුනාගත හැකි මූලික වස්තුවක් නැත්තේය.

“කෙස් වලිනුත් නොවේ, හිසෙනුත් නොවේ. කණිනුත් නොවේ. ඇස්වලිනුත් නොවේ. කටෙනුත් නොවේ. නාසයෙනුත් නොවේ. තොල්වලිනුත් නොවේ. බැමවලිනුත් නොවේ.

“බෙල්ලෙනුත් නොවේ, උරහිසෙනුත් නොවේ, බඩිනුත් නොවේ, පිටෙනුත් නොවේ, උකුලෙනුත් නොවේ, පපුවෙනුත් නොවේ, රහසඟිනුත් නොවේ, මෛථුනයෙනුත් නොවේ.

“අත්වලිනුත් නොවේ, පාවලිනුත් නොවේ, ඇඟිලි වලිනුත් නොවේ, නියවලිනුත් නොවේ, කෙණ්ඩාවලිනුත් නොවේ, කලවාවලිනුත් නොවේ, පාටිනුත් නොවේ, ශබ්දයෙනුත් නොවේ, අනිත් ජාතීන්හි මෙන් මුල්වූ වස්තුව ජාතිය අඳුනාගැනීම පිණිස නොවේ.

“තිරිසනුන්ගේ මේ ලක්ෂණ වෙන වෙනම ඇත. මිනිසුන් අතරෙහි මෙය විද්‍යාමාන නොවේ. මනුෂ්‍යයන් අතරෙහි කොටස වෙන්කිරීම සංඥාවෙන් කරණු ලැබේ.

“වාසෙට්ඨය මනුෂ්‍යයන් අතරෙහි යම් කිසිකෙනෙක් කුඹුරු කරමින් ජීවත් වෙත්ද හෙතෙම ගොවියෙකි. බමුණෙක් නොවේ.

“වාසෙට්ඨය මනුෂ්‍යයන් අතර යම් කිසි කෙනෙක් නොයෙක් ශිල්පයන්ගෙන් ජීවත්වේද, හෙතෙම ශිල්පියෙකි බ්‍රාහ්මණයෙක් නොවේ.

“වාසෙට්ඨය මනුෂ්‍යයන් අතුරෙහි යම්කිසි කෙනෙක් වෙළඳාමෙන් ජීවත්වේද හෙතෙම වෙළෙන්දෙකි. බමුණෙක් නොවේ.

“වාසෙට්ඨය, මනුෂ්‍යයන් අතර යම්කිසි කෙනෙක් අනුන්ගේ බැලමෙහෙ කරමින් ජීවත්වේද, හෙතෙම පෙස්සිකයෙකි බ්‍රාහ්මණයෙක් නොවේ.

“වාසෙට්ඨය, මනුෂ්‍යයන් අතර යම් කිසි කෙනෙක් නුදුන්දේ ගැනීමෙන් ජීවත්වේද, හෙතෙම හොරෙකි බ්‍රාහ්මණයෙක් නොවේ.

“වාසෙට්ඨය, මනුෂ්‍යයන් අතරෙහි යම්කිසිකෙනෙක් ආයුධ වලින් ජීවිකාව කෙරේද හෙතෙම යුද්ධ භටයෙකි බ්‍රාහ්මණයෙක් නොවේයයි දනුව.

“වාසෙට්ඨය, මනුෂ්‍යයන් අතර යම් කිසි කෙනෙක් පුරොහිත කර්මයෙන් ජීවත්වේද හෙතෙම යදින්නෙකි. බමුණෙක් නොවේයයි දනුව.

“වාසෙට්ඨය, මනුෂ්‍යයන් අතරෙහි යම්කිසි කෙනෙක් ගමද රටද අනුභව කරයිද, හෙතෙම රජෙකි, බ්‍රාහ්මණයෙක් නොවේයයි දනුව.

“මම බ්‍රාහ්මණ ජාතියෙන් උපන්, මවකුගෙන් උපන් බ්‍රාහ්මණයෙකු නොකියමි. හෙතෙම ඉදින් රාගාදී කිසිවක් ඇත්තේවේද, පින්වත පින්වත යන වචන මාත්‍රයෙන් පමණක් උසස්වූයේ වේ.

“සියළු සංයොජන සිඳ යමෙක් ඒකාන්තයෙන් නොතැවේද, රාගාදී සංගනැති යොගයන් නැති බැවින් සංයොගනුවූ ඔහු බ්‍රාහ්මණයායයි මම කියමි.

“ක්‍රොධයද රැහැනද සිඳ අනුශයන් නික්මීම සමග දෙසැට දෘෂ්ටීන් සිඳ උගුල්ලා දමන ලද අවිද්‍යා නැමැති පලිඝ ඇති ඒ බුදුරජාණන් වහන්සේ මම බ්‍රාහ්මණයායයි කියමි.

“යමෙක් ද්වෙෂ සහගත නුවූයේ බැණීමද වධයට පැමිණවීමද බැඳීමද ඉවසයිද ඉවසීම නැමැති බලයද බලඇණියද ඇති ඔහු මම බ්‍රාහ්මණයායයි කියමි.

“ක්‍රොධ නොකරණ කෙලෙස් නසන සිරිත් ඇති සිල්වත් රාගාදී නැඟීම් නැති හික්මුණු අන්තිම ආත්මයෙහි උපන් ඔහු මම බ්‍රාහ්මණයායයි කියමි.

“නෙලුම් කොළයෙහි ජලය මෙන්ද හිදිකටු අගෙහි අබ ඇටය මෙන්ද යමෙක් කාමයන් නොතවරාගනීද මම ඔහු බ්‍රාහ්මණයා යයි කියමි.

“යමෙක් තෙම මෙහිම තමාගේ දුකෙහි විනාශය දනීද බහා තැබූ ස්කන්ධ බර ඇති කෙලෙසුන්ගෙන් මිශ්‍ර නොවූ ඔහු මම බ්‍රාහ්මණයායයි කියමි.

“ගැඹුරු ප්‍රඥාඇති නුවණැති මග නොමග දත් උතුම් අභිවෘද්ධියට පැමිණි ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.

“ගෘහස්ථයන් හා අනගාරික ශ්‍රමණයන් කෙරෙහිද යන දෙපක්ෂය හා නොගැටුනාවූ වැඩි බලාපොරොත්තු නැතිව ආලය නැතිව හැසිරෙන ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.

“බියවන බියනොවන සත්වයන් කෙරෙහි දඬු බහා තබා යමෙක් නොමරද්ද හෙතෙම මම බ්‍රාහ්මණ යයි කියමි.

“විරුද්ධවූද ලෞකික ජනයා කෙරෙහි අවිරුද්ධවූ තමන්ට දඬුවම් කරණ ජනයන් කෙරෙහි බහා තැබූ දඬු ඇති මමය මාගේ යයි ගන්නවුන් අතරෙහි නොගන්නාවූ මෙබඳු පුද්ගලයා මම බ්‍රාහ්මණයයි කියමි.

“යමෙකු විසින් රාගයද ද්වෙෂයද මානයද ගුණමකුකමද හිඳිකටු අග අබ ඇටක් මෙන් හෙලන ලදද ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.

“රළු නොවූ අර්ථයන් හඟවන සත්‍ය වචන ප්‍රකාශ කරත්ද, යම් වචනයකින් කිසිවකු කොප නොකරවයිද ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.

“යමෙක් ලොකයෙහි දික්වූද, කොටවූද, සියුම්වූද, මහත්වූද, යහපත්වූද, අයහපත්වූද, නුදුන් දෙයක් නොගනීද ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.

“යමෙකුට මෙලොවද පරලොවද ආශාවක් නැද්ද, ආශා නැත්තේ කෙලෙසුන්ගෙන් වෙන්වූ ඔහු මම බ්‍රාහ්මණ යයි කියමි.

“යමෙකුගේ බුද්ධාදී අටතන්හි සැකය දුරුවූයේවේද ආශා විද්‍යාමාන නොවෙත්ද, අමෘත මහා නිවනට බැසගත් ඔහු මම බ්‍රාහ්මණ යයි කියමි.

“යමෙක් තෙම මේ ලොකයෙහි පිනද පවද යන ඇලීම් දෙක ඉක්මවූයේද ශොක නැත්තේද රජස් නැත්තේද පිරිසිදුවූද ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.

“පිරිසිදුවූ නොකැළඹුනාවූ නිර්මලවූ චන්ද්‍රයාමෙන් ඇලීමයයි කියන ලද භවයෙන් නික්මුණු ඔහු මම බ්‍රාහ්මණ යයි කියමි.

“යමෙක් තෙම මේ රාග නමැති දුර්ග මාර්ගයද සංසාර වෘත්තයද චතුරාර්යසත්‍යය නොපෙණෙන මුළාවද ඉක්මවූයේද තෘෂ්ණා නැත්තේ සැක නැත්තේ එතෙරවූයේ පරතෙරට ගියේ දැඩිකොට නොගෙන කෙලෙස් නිවීමෙන් නිවුන ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.

“යම් කෙනෙක් තෙම මේ ලොකයෙහි කාමතෘෂ්ණාව අත්හැර ගෙයක් නැතිව පිරිනිවියේද තණ්හාවද භවයද ක්ෂය කළේ ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.

“මනුෂ්‍ය ආයුෂයද පස්කම් සැපද අත්හැර දිව්‍ය ආයුෂද පස්කම් සැපද ඉක්මවා සියලු යොගයන්ගෙන් මිදුනු ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.

“ඇල්මද නො ඇල්මද ඇත්හැර සිහිල්වූ කෙලෙස් රහිතවූයේ සියලු ලොකය මැඩ පවත්වන වීරයා මම බ්‍රාහ්මණයයි කියමි.

“යමෙක් තෙමේ සත්වයන්ගේ චුතියද උත්පත්තියද සර්වප්‍රකාරයෙන් දැනගත්තේද නොලැගෙන සුගතවූ බුදුරජාණන් වහන්සේ මම බුද්ධයයි කියමි.

“දෙවියෝද ගන්ධර්වයෝද මනුෂ්‍යයෝද යමෙකුගේ ගමන නොදනීද, කෙලෙස් ක්ෂය කළ රහත් උන්වහන්සේ මම බ්‍රාහ්මණයයි කියමි.

“අතීත වර්තමාන අනාගත ස්කන්ධයන්හි තෘෂ්ණාවෙන් ගැනීම් සංඛ්‍යාත ක්ලෙශයන් නැද්ද රාගාදී කිඤ්චනයක් නැති, ගැනීමක් නැති ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.

“තැති නොගන්නා වෘෂභයකු වැනිවූ උතුම්වූ වීරවූ මාරයා දිනන ලද තෘෂ්ණා නැති කෙලෙසුන්ගෙන් දුරුවූ පිරිසිදුවූ බුදුරජාණන් වහන්සේ මම බ්‍රාහ්මණයයි කියමි.

“යමෙක් තෙම පූර්වෙනිවාසය දැනගත්තේද ස්වර්ග අපා දෙක දකීද නැවත උත්පත්තිය ක්ෂය කළේද ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.

“තබන ලද නාම ගොත්‍රයක් වේද මෝ තොමෝ ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයකි. යම් හෙයකින් ඒ සංඥාවෙන් ආවේද එයද උපන්පසු ඤාති සහ ලේ ඤාතින් විසින් තබන ලදී. ඔහු ජාති බ්‍රාහ්මණයයි කියමි.

“නොදන්නාවූ සත්වයන්ගේ සන්තානයෙහි මේ දෘෂ්ටි බැස ගන්නා ලදී. සන්තානයෙහි සයනය කරන ඒ නාම ගොත්‍ර නොදන්න හෙයින් ජාතියෙන් බ්‍රාහ්මණයෝ වේ යනු කියත්.

“උත්පත්තියෙන් බ්‍රාහ්මණයෙක් නොවේ. උත්පත්තියෙන් අබ්‍රාහ්මණයෙක් නොවේ. කර්මයෙන් බ්‍රාහ්මණයෙක් වේ. කර්මයෙන් අබ්‍රාහ්මණයෙක් වේ.

“කර්මයෙන් ගොවියෙක් වේ. කර්මයෙන් ශිල්පියෙක් වේ. කර්මයෙන් වෙළෙන්දෙක්වේ. කර්මයෙන් වැඩකාරයෙක් වේ.

“කර්මයෙන් හොරෙක් වේ. කර්මයෙන් යෝධයෙක් වේ. කර්මයෙන් අනුශාසකයෙක් වේ. කර්මයෙන් රජෙක්වේ.

“හේතු ප්‍රත්‍යධර්මය දන්නා කර්ම විපාකයෙහි දක්ෂ පණ්ඩිතයෝ මෙසේ මේ කර්ම තත් වූ පරිද්දෙන් දනී.

“ලෝකය කර්ම නිසා පවතී. සත්ව වර්ගයා කර්මය නිසා පවතී. කර්මයෙන් බැඳුණු සත්වයෝ රථයේ ඇණය මෙන් කර්මයෙන්ම යයි.

“ඉන්ද්‍රිය සංවරයෙන්ද බ්‍රහ්මචර්යාවෙන්ද, සීලයෙන් ද, ප්‍රඥාවෙන්ද යන මෙයින් බ්‍රාහ්මණයෙක්වේ. මේ උතුම් බ්‍රාහ්ණයායි.

“වාසෙට්ඨය, ත්‍රිවිද්‍යාවෙන් යුත් ශාන්තවූ ක්ෂය කළ උත්පත්තිය ඇති බ්‍රාහ්මණයා පමණක් නොව යම් කෙනෙක් මෙබඳු නම් බ්‍රාහ්මයාද ශක්‍රයාද වුවත් පණ්ඩිතයන් විසින් මෙසේ දත යුතුය.

මෙසේ වදාළ කල්හි වාසෙට්ඨ භාරද්වාජ මාණවකයන් දෙදෙන භාග්‍යවතුන් වහන්සේට (මෙහි 2 වර්ගයේ 19 සූත්‍රයේ 32 ඡෙදයේ “භවත්” යන තැන් සිට අවසානය දක්වා යෙදිය යුතුයි.)

වාසෙට්ඨසුත්තං නවමං නිට්ඨිතං.