ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

1. බුද්ධ වග්ගය

12. ආනන්‍ද ථෙරාපදානය

’’පදුමුත්තර බුදුරජතෙම අරම් දොරින් නික්ම අමා වැසි වස්වන්නේ මහාජනයා සන්සිඳවීය. (නිවණට පැමිණවීය.)

’’ෂඩභිඥා ඇත්තාවූද, මහා ඎද්‍ධි ඇත්තාවූද, ලක්‍ෂයක් පමණවූ ඒ ක්‍ෂීණාශ්‍රවයෝ සෙවනැල්ලක් මෙන් සර්‍වඥයන් වහන්සේ පිරිවරත්.

’’උතුම් සේසත (මාගේ මස්තකයෙහි දරන්නේ) ඇතුපිට හුන්නේ වෙමි. මනොඥවූ රූප ඇති බුදුරජාණන් වහන්සේ දැක මට ප්‍රීතිය උපන්නේය.

’’ඇතුපිටින් බැස නර ශ්‍රෙෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. මාගේ රුවන් මුවා ඡත්‍රය බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේට දැරීමි.

’’පදුමුත්තර මහර්ෂී (බුදුරජ) තෙම මාගේ අදහස දැන, එම (තමන් වහන්සේගේ දේශනා) කථාව හැර මෙම ගාථාවන් වදාළෝය.

’’ඒ යමෙක් ස්වර්‍ණාලංකාරයන්ගෙන් සරසන ලද ඡත්‍රයක් දැරීද, ඔහු (පිළිබඳව) ප්‍රකාශ කරන්නෙමි. (එසේ) පවසන්නාවූ මාගේ (වචනය) අසව්.

’’මේ පුරුෂ තෙම මින් (චුතව) ගොස් තුසිතයෙහි වසන්නේය. දිව්‍යප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ සම්පත් අනුභව කරන්නේය.

’’සූතිස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. (ඉන් චුතව) සිව්රඟ සෙනගට අධිපතිව එකසිය අට වරක් (පෘථිවීස්වරව) පොළොවෙහි වාසය කරන්නේය.

’’අට පණස් වරක් සක්විති රජ වන්නේය. පෘථිවියෙහි මහත්වූ ප්‍රදේශ රාජ්‍යය කරවන්නේය.

’’කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.

’’ශාක්‍ය කුලයට ධජයක් වැනිවූ බුදුරජාණන් වහන්සේගේ ඤාතීවූ මහර්ෂීන් (බුදුන්) වහන්සේගේ උපස්ථායකවූ නම්න් ආනන්‍ද නම් වන්නේය.

’’කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇති, ප්‍රඥාවත්වූ, බහුශ්‍රුත භාවයෙහි දක්‍ෂවූ, නිහතමානී පැවතුම් ඇති, තද ගති නැති, සියල්ලන් හදාරවන (ත්‍රිපිටකධර) කෙනෙක් වන්නේය.

’’වීර්‍ය්‍ය කිරීමෙහි මෙහෙයන ලද සිතැති හෙතෙම, උපශාන්ත වූයේ, උපධි රහිත වූයේ, සියලු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥාවෙන්) දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.

’’(යම් සේ) අරණෙහි උපතින් සැට වසක් ඉක්ම ගිය, ත්‍රිමදගලිත, මාතංග හස්ති කුලයෙහි ජාතවූ, මහත් දළ ඇති, රාජ වාහනවූ, ඇත්තු වෙද්ද,

’’එසේම නොයෙක් ලක්‍ෂ ගණන් පණ්ඩිතවූද, මහා ඎද්‍ධිමත්වූද, රහත් නාගයෝ වෙත්. සියල්ලෝ බුද්ධ නාගයන් වහන්සේගේ ලක්‍ෂණය ගත් අය නොවෙති.

’’මුල්යම්හිද, මැදියම්හිද, පැසුළුයම්හිද, නමස්කාර කරන්නෙමි. පහන් සිත් ඇත්තෝ සතුටුවූයේ, බුද්ධ ශ්‍රෙෂ්ඨයන් වහන්සේට උවටැන් කෙළෙමි.

’’කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ, ප්‍රඥාවත්වූයේ, මනා දැනුම් ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, ශෛක්‍ෂ්‍ය භූමියෙහි දක්‍ෂවූයේ, සෝවාන් ඵලයට පැමිණියේ වෙමි.

’’මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර යම් කර්‍මයක් කොට (යමක්) ප්‍රාර්ත්‍ථනා කෙළෙම් නම්, මම ඒ පදවියට පැමිණියේ, සසුනෙහි නිශ්චලව සිටියේ වෙමි.

[’’මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.]

’’බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ආනන්‍ද ස්ථවිරාපදානය දසවැනියි.

අපදානෙ බුද්ධවග්ගො පඨමො.