ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

1. බුද්ධ වග්ගය

11. ඛදිරවනිය රෙවත ථෙරාපදානය

’’හිමවතින් හටගත් භාගීරථි නම් ගංගාවක් තොමෝ වූවාය. මම (එහි) (සැඩ රළ වේගයෙන් යුත්) විෂම තීර්ථයක (කෙවුල් කුලයෙහි උපන්නාවූ) නැවියෙක් වීමි.

’’පදුමුත්තර බුදුරජතෙම රහතුන් දහසක් සමග ගංගාවෙහි සැඩ පහර තරණය කරන්නේයයි පෙර මාගේ ඇසීම විය.

’’බොහෝ නැව් එකතට පමුණුවා (නැව් දෙක දෙක එක්කොට තැනූ) නැවෙහි වඩුවන් ලවා මැනවින් පියසි කොට බුදුරජාණන් වහන්සේ පිදීමි.

’’බුදුරදතෙම පැමිණි එම උතුම් නැවට නැංගේය. (නැව් නැගී) දිය මැද සිටියාවූ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.

’’යමෙක් තෙම සම්‍යක් සම්බුදු රජද, ආශ්‍රව රහිතවූ (රහත්) සංඝයාද තරණය කරවී නම් හෙතම එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන දෙව් ලොවෙහි සිත් අලවා වාසය කරන්නේය.

’’ඔබහට මැනවින් කළ නැවෙහි සටහන් ඇති විමානයක් (දෙව්ලොව) පහළ වන්නේය. හැම කල්හි අහසෙහි මල් වියනක්ද දරන්නේය.

’’(මින්) අට පණස් කපකින් මත්තෙහි සතර මහා දිවයිනට අධිපතිවූ, දිනනසුළුවූ, තාරක නම් සක්විති රජෙක් වන්නේය.

’’(මින්) සත් පණස්වන කපෙහි මහ බල ඇති චම්පක නම් ක්‍ෂත්‍රිය තෙමේ උදාවන්නාවු හිරු මෙන් බබලන්නේය.

’’කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගොත්‍රයෙන් ගෞතම නම් වන්නාවූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.

’’හෙතෙම (එකල) දෙව්ලොවින් චුතව මිනිසත් බවට යන්නේය. නම්න් රේවතවූ බමුණෙක්ද වන්නේය.

’’කුශල මූලයන්ගෙන් මෙහෙයන ලදුයේ ගිහිගෙන් නික්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේය.

’’පැවිදිව පසුව හෙතෙම භවනායෝගයන්හි යෙදුනේ, විදර්‍ශනා කරන්නේ, සියලු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥාවෙන්) දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.

’’නිවාණ සංඛ්‍යාත යොග ක්‍ෂෙමයට පමුණුවන ධුරවාහකයා (ගැල්බර උසුලන ගවයා) මෙන් මාගේ වීර්‍ය්‍යය වෙයි. (මම මේ) සර්‍වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (අන්තිම ආත්මයයි.)

’’මා විසින් කල්ප ලක්‍ෂයකට පෙර කරණ ලද කර්‍මය මෙහිදී විපාක දැක්වීය. දුනුදියෙහි මැනවින් මිදුණු හී වේගය මෙන් (එම කර්‍මය) මාගේ කෙළෙස් දැවීය.

’’ඉක්බිති ලෝකාන්තයට ගිය මහ නුවණැති බුදුරජාණන් වහන්සේ වන සෙනසුනෙහි ඇළුනාවූ මා දැක වනවාසී භික්‍ෂූන් අතුරෙන් අගතන්හි තබා වදාළ සේක.

[’’මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.]

’’මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී’’

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛදිර වනිය රේවත තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.

ඛදිරවනිය රෙවත ථෙරාපදානය නවවැනියි.