ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

2. සිහාසන දායක වග්ග

2. එකත්‍ථම්භක ථෙරාපදානය

’’සිද්ධාර්ත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ මහත්වූ උපාසක සමූහයා විය. ඔවුහු බුදුරජුන් සරණ ගියාහු තථාගතයන් වහන්සේ අදහත්.

’’(ඒ) සියල්ලෝ එකතුව මන්ත්‍රණයකොට බුදුරජාණන් වහන්සේට උපස්ථාන ශාලාවක් කෙරෙත්. (ඒ සඳහා) එක් ටැඹක් නොලබන්නාහු මහ වෙනෙහි සොයත්.

’’මම ඒ උවසු සමූහයා වනයෙහිදී දැක, (එම) සමූහයා වෙත එළඹ, ඇඳිලි බැඳගෙන, උවසු සමූහයාගෙන් (මෙසේ) විචාළෙමි.

’’මා විසින් විචාරණ ලද ඒ සිල්වත් උවසුවෝ මෙසේ පැවසූහ. අපි උපස්ථාන ශාලාවක් කරනු කැමැත්තෙමු. (ඒ සඳහා) එක් ටැඹක් නොලබාය කියායි.

’’එක් ටැඹ මම දෙමි. මම ශාස්තෲන් වහන්සේට දෙන්නෙමි. මම ටැඹ ගෙන එන්නෙමි. තෙපි (ඒ සඳහා) උත්සාහ නැත්තෝ වෙත්වා.

’’පැහැදුනාවූ, සතුටු සිත් ඇති, ඔවුහු මට ටැඹ පැවරූහ. එම වනයෙන් පෙරළා ගොස් ස්වකීය ගෘහයනට පැමිණියාහුය.

’’(උවසු) සමූහයා ගිය නොබෝ වේලාවකින්, මම ටැඹක් දුනිමි. එකල්හි සතුටුවූ මම සතුටු සිතින් (එය) පළමුකොටම එසවීමි.

’’එය චිත්තප්‍රසාදය හේතුකොටගෙන පැන නැගුනාවූ, උස්වූ, මහල් සියයක් ඇති, මාගේ විමානයට, මම (උත්පත්ති වශයෙන්) ගියෙමි.

’’එකල්හි බෙර වයද්දී මම (දෙව් පිරිස) පිරිවරමි. (ඉන්) පස් පණස්වන කපෙහි යසෝධර නම් රජෙක් වීමි.

’’එහිද, මට මහල් සියයක් ඇති, උඩට නැගුණු උතුම් කුළු ගෙවලින් යුත්, එක් ටැම් ඇති, මනහරවූ භවනයක් විය.

’’එක් විසිවන කල්පයෙහි උදෙන නම් ක්‍ෂත්‍රියයෙක් විය. එහිදී මට සියයක් මහල් ඇති, උස්ව පැන නැංගාවූ, භවනයක් විය.

’’යම් යම් දිව්‍ය හෝ, මනුෂ්‍යවූ හෝ යෝනියක උපදිම්ද, සියලු සුව අනුභව කරමි. මෙය එක් ටැඹ පිදීමේ විපාකයයි.

’’මින් අනූවන කපෙහි එකල යම් ටැඹෙක් දුනිම්ද, (එහෙයින්) දුගතියක් නොදනිමි. එක් ටැඹ පිදීමේ මේ විපාකයයි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකත්‍ථම්භක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

එකත්ථම්භිකත්ථෙරස්සාපදානං දුතියං.