ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

2. සිහාසන දායක වග්ග

3. නන්‍ද ථෙරාපදානය

’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, සියල්ල තෙමේම අවබෝධ කර ගත්තාවූ, මහර්ෂිවූ, පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට මා විසින් කොමු වස්ත්‍රයක් පුදන ලදී.

’’ඒ (වස්ත්‍ර දායකවූ) මට පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක. ’’ඔබ මේ වස්ත්‍ර දානය කරණකොටගෙන ස්වර්‍ණ වර්‍ණ වන්නෙහිය.

’’(දිව්‍ය මනුෂ්‍ය නම්වූ) ද්විවිධ සම්පත් අනුභවකොට කුශල මූලයන් විසින් මෙහෙයන ලදුයේ, ඔබ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බාල සොහොයුරු වන්නේය.

’’ක්ලේශ කාමයෙන් ඇළුනේ (කාය-චිත්ත සුඛයන් අනුභව කරණ ස්වභාවය ඇත්තේ) වස්තු කාමයෙහි ගිජුවීමෙහි යෙදුනේ, බුදුරජාණන් වහන්සේ විසින් මෙහෙයන ලදුයේ, ශාන්තවූයේ, ඔබ එකල්හි පැවිදි වන්නෙහිය.

’’ඔබ එහි පැවිදිව, කුශල මූලයන් විසින් මෙහෙයන ලදුයේ, සියළු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥාවෙන් දැන, හැර දැමූ ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නෙහිය’’ (කියායි.)

’’(මින්) කල්ප ලක්‍ෂයකට පෙර එක් දහස් සත්වන කපෙහි වෙල නම්වු සක්විති රජවරු සිව් දෙනෙක් වූහ. එක් දහස් සැට වන කල්පයෙහි (සිව් ජාතියක) උපවෙල නම් වූ සක්විති රජවරු සිව් දෙනෙක් වූහ.

’’එක් දහස් පස්වන කපෙහි වෙල නම්න්ම (සක්විති) රජවරු සිව් දෙනෙක් වූහ. (ඔවුහු) සත් රුවනින් යුක්ත වූවාහු සතර මහ දිවයිනෙහි අධිපතියෝ වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නන්ද තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

නන්දත්ථෙරස්සාපදානං තතියං.