ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
2. සිහාසන දායක වග්ග
5. පිළින්දවච්ඡ ථෙරාපදානය
’’ලෝකනාථවූ, අග්‍ර පුද්ගලවූ, සුමේධ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් සිත් ඇති, සොම්නස්වූ මම ස්ථූප පූජාවක් කෙළෙමි.
යම් ෂඩභිඥාවූ, මහා ඎද්‍ධි ඇති, ක්‍ෂීණාශ්‍රව කෙනෙක් එහි (වූවාහුද) මම උන්වහන්සේලා එහි රැස්කරවා සංඝදානයක් කෙළෙමි. (දුනිමි.)
’’එකල්හි සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයෙක් විය. නම්න් සුමේධ නම්වූ හෙතෙම එකල්හි අනුමෝදනා කෙළේය.
’’එම (ථූප පූජා කිරීම් වශයෙන් ඇතිවූ) චිත්ත ප්‍රසාදය කරණකොටගෙන මම දිව්‍ය විමානයක උපනිමි. අසුහය දහසක් දෙවඟනෝ මාගේ (සිත එහි) ඇලවූහ.
’’එම අපසරාවෝ සියලු කාමයන් කරණකොටගෙන මා අනුවම පවතිත්. අනික් දෙවියන් (සම්පත්තියෙන්) ඉක්මවීමි. මේ (ස්ථූප පූජා) පුණ්‍යකර්‍මයාගේ විපාකයයි.
’’මම එකල්හි පස්විසිවන කපෙහි පිරිසිදු බොජුන් ඇති වරුණ නම් සක්විති රජෙක් වීමි.
’’ඒ මනුෂ්‍යයෝ බිජුවට නොවපුරත්. නගුල් (සී සෑම් වශයෙන්) නොපමුණුවත්. අරණ්‍යයෙහි අකෘෂ්ට භූමි භාගයන්හි තෙමේම හටගත් හැල් අනුභව කෙරෙත්.
’’මම එහි රාජ්‍යයකොට, නැවත දිව්‍යාත්මභාවයට පැමිණියෙමි. එකල්හිද මට මෙබඳුමවූ භෝග සම්පත්ති තොමෝ උපන්නීය.
’’මිතුරුවූ හෝ, පසමිතුරුවූ හෝ, සියලු ප්‍රාණීහු මට හිංසා නොකෙරෙත්. සියලු දෙනාම ප්‍රිය වෙමි. මෙය (ස්ථූප පූජා) පුණ්‍ය කර්‍මයාගේ විපාකයයි.
’’මින් එක් දහස් තිස්වන කල්පයෙහිවූ එකල මම යම් දනක් දුනිම්ද, (ඉන්) දුගතියක් නොදනිමි. (ස්ථූපයෙහි) සුගන්‍ධාලේපයාගේ (සුවඳ ගැල්වීමෙහි) මේ ඵලයයි.
’’මේ භද්‍ර කල්පයෙහි මම ජනාධිපතිවූ, මහානුභාව ඇති, මහත්බල ඇති, එක් සක්විති රජෙක් වීමි.
’’ඒ මම බොහෝ ජනයා පන්සිල්හි පිහිටුවා, සුගතියටම පමුණුවා, දෙවියනට ප්‍රියවීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිළින්දවච්ඡ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පිලින්දවච්ඡත්ථෙරස්සාපදානං පඤ්චමං.