ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
2. සිහාසන දායක වග්ග
4. චුල්ල පන්ථක ථෙරාපදානය
’’එකල්හි පූජාවන් පිළිගන්නාවූ හෙවත් පූජාවනට ගෙයක් බඳුවූ ඒ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගණ(සමූහ)යා කෙරෙන් වෙන්වූයේ හිමවතෙහි විසූ සේක.
’’එකල්හි මම හිමවගෙහි අසපුවක වෙසෙමි. පැමිණි නොබෝ කල් ඇති, ලෝක නායකවූ, මහා වීරයන් (බුදුරජාණන්) වහන්සේ වෙත එළඹියෙමි.
’’මල් කූඩයක් ගෙන නර ශ්‍රෙෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. මම සමාධියට සමවන් උන්වහන්සේගේ සමාධියට අනතුරක් නොකෙළෙමි.
’’මම දෑතින් ගෙන මල් සැත දුනිමි. උන්වහන්සේ එය පිළිගත් සේක.
’’සතුටුවූ ඒ සියලු දෙවිවරු හිමවතට එළඹෙත්. පසැස් ඇති බුදුරජතෙම අනුමෝදනා කරන්නේයයි සාධුකාර පැවැත්වූහ.
’’ඒ දෙවිවරු මෙය කියා අහසෙහි දරන්නාවූ උතුම්වූ සියුම් සැක ඇති නරශ්‍රෙෂ්ඨයන් (බුදුන්) වහන්සේ වෙත එළඹියාහුය.
’’(මේ තවුස් තෙමේ) සියුම් සැතක් ගෙන මට දුන්නේය. ඔහු පිළිබඳව මම (කරුණු) ප්‍රකාශ කරමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
’’(මෙතෙම) පස් විසි වසරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. සූතිස් වරක් සක්විති රජද වන්නේය.
’’(මෙතෙම) දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යම් යෝනියක සැරිසරාද, අභ්‍යවකාහයෙහි (එලිමහනෙහි) හුන්නේ පියුමක් (කුඩයක් මෙන්) දරන්නේය.
’’කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක නම් කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම් වූ, ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
’’(උන් වහන්සේ) පිටකත්‍රය ධර්‍මය දෙසූ කල්හි හෙතෙම මිනිසත් බව ලබන්නේය. මනොමයවූ ශරීර නිර්මාණයෙහි අග්‍රද වන්නේය.
’’සොහොයුරන් දෙදෙනෙක් වන්නාහුය. දෙදෙනම පන්ථක නම් වන්නාහුය. උත්තමාර්ත්‍ථයවූ නිවණ ප්‍රතිවේධ කොට සසුන බබුළුවන්නාහුය.
’’ඒ මම අටළොස් වියැත්තේ, අනගාර්‍ය්‍ය නම් ශාසනයෙහි පැවිදිවීමි. මම ශාක්‍ය පුත්‍රවූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි විශේෂයක් (ධර්‍මාවබෝධය) නොවිඳිමි.
’’මාගේ ගතිය (ස්වභාවය) අන්‍ධ (මෝඩ) විය. පෙර දුකින් මඩනා ලද්දේ විය. දැන් ස්වකීය ගෘහයට යවයි කියා මාගේ සොහොයුරාද මා පන්නා දැමීය.
’’පන්නා හරින ලද ඒ මම සඟරම දොරටුවෙහි (නැවතී) දොම්නස්වූයේ, පැවිදි බැව්හි බලාපොරොත්තු සහිතවූයේ, එහි සිටියෙමි.
’’ඉක්බිති ශාස්තෘතෙම එහි පැමිණියේය. මාගේ හිස පිරිමැද්දේය. මාගේ අතින් අල්ලාගෙන සංඝාරාමයට ඇතුළු කරවිය.
’’මෙසේ පිරිසිදු (මෙය ගැන) එකත්පසෙක හිඳ මනාකොට ඉටුවයි (සිහි කරවයි) කියා මට අනුකම්පාවෙන් ශාස්තෘතෙම රෙදි කඩක් දුන්නේය.
’’මම එය ගෙන පියුම සිහි කෙළෙමි. එහි (පියුමෙහි) මාගේ සිත (නැවතී රහත් බැවින්) මිදුනේය. රහත්බවට පැමිණියෙමි.
’’සියලු තන්හි මනොමය ශරීරයෙන් නිර්මිත කිරීමෙහි පරතෙරට පැමිණියේ, සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන දුරුකළේ, ආශ්‍රව රහිතව (රහත්ව) වෙසෙමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චුල්ල පන්ථක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
චූළපන්ථකත්ථෙරස්සාපදානං චතුත්ථං.