ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
2. සිහාසන දායක වග්ග
7. උපසෙන ථෙරාපදානය
’’පර්‍වත පබ්හාරයක වැඩ හුන්නාවූ, මනුෂ්‍යොත්තමවූ, ලොක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, (මම) ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙත එළඹීමි.
’’එකල්හි මම මැවින් පිපුණු කිණිහිරි මලක් දැක, නටුවෙන් කඩාගෙන, ඒ මලින් ඡත්‍රය අලංකාරකොට, බුදුරජාණන් වහන්සේට ඒ ඡත්‍රය නැගීමි.
’’සුන්‍දර භෝජන නම්වූ, උතුම් ආහාරයවූ, පිණ්ඩපාතයද දුනිමි. එහි බුදුරජාණන් වහන්සේ නවවෙනිකොට ඇති ශ්‍රමණයන් අටනමක් වැළඳවීමි.
’’සියල්ල තෙමේම අවබෝධ කළාවූ, අග්‍ර පුද්ගලවූ, මහාවීරවූ (පදුමුත්තර) බුදුරජතෙම අනුමෝදනාව කෙළේය. මෙම ඡත්‍ර දානයද, උතුම් ආහාර දානයද, හේතුකොටගෙන (ඇතිවූ) එම චිත්ත ප්‍රසාදයෙන් සම්පත් අනුභව කරන්නේය. සතිස් වරක් ශක්‍රව දිව්‍ය රාජ්‍යය කරන්නේය.
’’එක් විසි වරක් සක්විති රජ වන්නේය. මහත්වූ ප්‍රදේශ රාජ්‍යය කරණ (වාර ගණන) සංඛ්‍යා පථාතික්‍රාන්තයි.
’’මින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, ගොත්‍රයෙන් ගෞතම නම්වූ, ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.
’’(උන්වහන්සේගේ) සසුන බබලවන කල්හි මිනිසත් බවට පැමිණෙන්නේය. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදවූයේ, ඖරස බුද්‍ධපුත්‍රවූයේ, ධර්‍මයෙන්ම නිර්මිත කළාක් වැනිවූ, නම්න් උපසේන නම්වූ, බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේයයි වදාළ සේක.
’’(මෙය) මාගේ අන්තිම ආත්මය වන්නේය. සියළු භවයෝ සමූහනනය කරණ ලදහ. සේනා සහිතවූ මාරයා ජයගෙන අන්තිම ශරීරය දරමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපසේන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
උපසෙනවඞ්ගන්තපුත්තත්ථෙරස්සාපදානං සත්තමං.
තෙවැනි බණවරයි.