ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

1. බුද්ධ වග්ගය

3. සාරීපුත්‍රථෙරාපදානය

ඉක්බිති ස්ථවිරාපදානය අසව්.

’’හිමවතට නුදුරෙහි ’’ලම්බක’’ නම් පර්‍වතයකි. එහි මට අසපුවක් කරණ ලදී. පන්සලක් මැනවින් මවන ලදී.

’’මනාවූ (කුඩා) තොටුපලවල් ඇති, මනොඥවූ සුදෝ සුදු වැලි තලාවන්ගෙන් ගැවසී ගත් කුඩා ගඟ මාගේ අසපුව අවට නුදුරෙහි විය.

’’බොරළු රහිත, ගැඹුරු ඉවුරු නැති, මනා ජලයෙන් යුත්, දුර්‍ගන්‍ධ විරහිතවූ (එම) කුඩා ගංගා තොම එහි මාගේ අසපුව හොබවමින් ගලා බසින්නීය.

’’කිඹුල්ලුද, මෝරුද මුඛයෙන් සූ සූ නදින් (දිය බුබුළු උඩට නගන සුංසුමාර නම්වූ) චණ්ඩ මත්ස්‍යයෝද, කැසුබුවෝද එහිවූ මාගේ අසපුව හොබවමින් ගඟෙහි සැරිසරත්.

’’පෙටියෝද, පාවුස නම් (ලූල්ලු) මත්ස්‍යයෝද, වජල නම් (වලයෝ)මත්ස්‍යයෝද, මුඤ්ජ නම් (මොද්දු) මත්ස්‍යයෝද, රොහිත (රෙහෙරු) මත්ස්‍යයෝද, චග්ගුල නම් මත්ස්‍යයෝද පෙරළෙමින් මාගේ අසපුව හොබවත්.

’’එම ගඟ දෙපසෙහි (හැමකල්හි) පිපුණු මල් ඇත්තාවූද, හටගත් ගෙඩි ඇත්තාවූද, වෘක්‍ෂයෝ දෙතෙරෙහි පහළට නැමුණාහු, මාගේ අසපුව හොබවත්.

’’අඹ, සල්, මදට, පළොල්, නික යන මේ වෘක්‍ෂයෝ පිපීගිය මල් ඇත්තාහු, මාගේ අසපුවෙහි හාත්පස දිව සුවඳ හමත්.

’’සපු, සලල, කොළොම්, නා, දොඹ, වැටකේ යන වෘක්‍ෂයෝද, පිපීගිය මල් ඇත්තාහු, මාගේ අසපුවෙහි හාත්පස දිව සුවඳ හමත්.

’’මාගේ අසපුවෙහි යොහොඹු, හෝපළු, භගිනි, මාලා යන වෘක්‍ෂයෝ මල් පිපී ගියාහුය. එසේම, රුකගුණ, රත්කරවු යන වෘක්‍ෂයෝද සුපුෂ්පිත වූවාහුය.

’’වැටකේ, කඳල, ගොවුක, බොලිද්ද යන වෘක්‍ෂයෝ මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.

’’කිණිහිරිය, සිහින් මිදිය, පියාය, කුඹුක්ය යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.

’’දොඹය, ගිරි දොඹය (ගිරිපුන්නාහ), කොබෝ ලීලය යන වෘක්‍ෂයෝ සුපුෂ්පිත වූවාහු මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.

’’ඇසළය, කෙළිඳය, කොළොම්ය, මුහුණ මල්ය යන බොහෝ වෘක්‍ෂයෝ මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.

’’ආලකය, ඉසිමුග්ගය, (වනමුං) කෙසෙල්ය, ලප්නාරන්ය යන මේ වෘක්‍ෂයෝ සුවඳ දියෙන් වැඩුනාහු ඵල දරත්.

’’(අසපුව අසලවූ) තඩාගයෙහි හැමකල්හි ඇතැම් පද්මයෝ පිපෙත්. ඇතැම් කෙසර පද්මයෝ හට ගනිත්. ඇතැම් පිපුණු පද්මයෝ ගිලිහුණු පත් හා කෙසුරු ඇත්තෝ වෙත්.

’’පද්මයෝ කැකුළුව හටගනිත්. නෙළුඹු අල (මඩ අතුරින් ඇත් දළ මෙන්) වැඩීමෙන් මහවිල් කටු (කටු දෙලු) පත්වලින් ගැවසීගත්තාහු හැමකල්හි (එම) විලෙහි බබළත්.

’’විල අසල පිපීගිය නයිතය අම්බ (පුෂ්ප) ගන්ධිය, උත්තාලීය, බඳුවද යන මේ ගස්හු හැම කල්හි දිව සුවඳ හමත්.

’’පෙටියෝද, පාවුසයෝද, වලප්ය, මුඤ්ජය, රොහිතය, සංගුලය, මංගුරය යන මත්ස්‍යයෝද එකල්හි තඩාගයෙහි වසත්.

’’කිඹුල්ලුද, තන්නිගාහ රකුසෝය, මගුහය, අජකාර යන මොවුහු එකල්හි මෙම තඩාගයෙහි වසත්.

’’පරෙවිය, රවිහංසය, සක්වා ලිහිණිය (නදීවරයාද), කොකිලය, ගිරාය, සාලිකය යන මේ පක්‍ෂීහු ඒ විල ඇසුරෙන් ජීවත් වෙති.

’’කුකුත්‍ථකය, කුලීරකය, වෙනෙහි වෙසෙන පොක්ඛර සාතකය, දින්දිභය, සුවපොතය (මලිත්තා) යන මේ පක්‍ෂීහු එම විල ඇසුරෙන් ජීවත් වෙති.

’’හංසයෝය, කොස්වා ලිහිණියෝය, මොණරු, කොව්ලෝය, හුන පුපුළෝය, ජිවඤ්ජිවයෝය යන මේ පක්‍ෂීහු මේ පක්‍ෂීහු එම විල ඇසුරුකොට ජීවත් වෙති.

’’බකමුහුණෝය, පොඨසීස නම් පක්‍ෂීහුය, කබරුස්සෝය, උකුස්සෝය, මහා කාල නම් පක්‍ෂීහුය යන බොහෝ පක්‍ෂීහු එම විල ඇසුරුකොට ජීවත් වෙති.

’’පසදමෘගයෝය, ඌරෝය, වෘකයෝය, කැනහිල්ලුය, රොහිච්ච නම් මෘගයෝය, සුග්ගදී පොතයෝය යන බොහෝ මෘගයෝ එම විල ඇසුරුකොට ජීවත් වෙති.

’’සිංහයෝය, ව්‍යාඝ්‍රයෝය, දිවියෝය, වලස්සුය, කරබානා වලස්සුය, තෙතැනකින් මද බිඳෙන (ත්‍රිමද ගලිත) ඇත්තුය ඒ විල ඇසුරුකොට වෙසෙත්.

’’කිඳුරෝද, වඳුරෝද, යලිදු වනයෙහි කර්‍මාන්තයන්හි යෙදුනෝද (මුවසේවටු ආදීහුද) දාසයෝද, වැද්දෝද, එම විල ඇසුරුකොට වෙසෙත්.

’’තිලිසිරිය, පිය, වැල්මීය (කාසුවාරියා) යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවට නුදුරෙහි නිරතුරුවම පල දරත්.

’’මනාව හටගත් පලයන්ගෙන් යුත් කොසුම්භය, සලලය, කොළොම්ය යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවට නුදුරු තන්හි නිරතුරුවම පල දරත්.

’’අරළුය, නෙල්ලිය, අබය, ජම්බුය, බුළුය, ඩෙබරය, බදුලුය, බෙලිය, යන මෙකී වෘක්‍ෂයෝද පල දරත්.

’’ආළුය, කලම්බය, බිලාලීය, තක්කලය, ජීවකය, සුතකය යන බොහෝ අල වර්‍ගයෝ මාගේ අසපුවෙහි වෙති.

’’අසපුවට නුදුරෙහි මැනවින් වැවූ, පිරිසිදු සිහිල් දිය ඇති, මනා තොටුපලවලින් යුත් මනරම්වූ තඩාගයෝ වූහ.

’’පුණ්ඩරීක (සුදු නෙලුම්) සහිත පියුම් (රතු නෙළුම්) උපුල්වලින් ආකුලවූ තඩාගයන්ගෙන් ගැවසී ගත්තාහුය. දිව සුවඳද හමයි. මදාරා ගස්වලින් යුක්තය.

’’මෙසේ සුපුෂ්පිතව පල දැරුවාවූ, සර්‍වාඞ්ග සම්පූර්‍ණ වණයෙහි මැනවින් කරණ ලද රම්‍යවූ ආශ්‍රමයෙහි මම හැම කල්හි වෙසෙමි.

’’සිල්වත්ව, වෘත සම්පන්නව ධ්‍යාන කරණ සුළු වූයේ, හැම කල්හි ධ්‍යානයෙහි ඇළුනේ, පඤ්චාභිඥා බලයට පැමිණියේ ’’සුරුචි’’ නම් තවුසෙක් වීමි.

’’සූවිසි දහසක් ශිෂ්‍යයෝ මට උවටැන් කළාහුය. මේ සියලු ශිෂ්‍යයෝ ජාතිමත්, කිර්තිමත් බ්‍රාහ්මණයෝ වූහ.

’’(ඔවුහු) අංගලක්‍ෂණ ශාස්ත්‍රයෙහිද, ඉතිහාසයෙහිද, වේදත්‍රයෙහිද, ස්වකීය බ්‍රාහ්මණ ධර්‍මයෙහිද, පරතෙරට ගියාහු, නාම පදාදියෙහි දක්‍ෂවූහ. එසේම ව්‍යාකරණාදියෙහිද දක්‍ෂයෝ වූහ.

’’උල්කාපාත, භූමිචලනාදිය පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා උත්පාත ශාස්ත්‍රයෙහිද, ශුභා ශුභ නිමිති දැනගන්නා ශාස්ත්‍රයෙහිද, ස්ත්‍රී පුරුෂයන්ගේ හා මහා පුරුෂයන්ගේ ලක්‍ෂණ දන්නා ශාස්ත්‍රයෙහිද, දක්‍ෂවූවාහු පෘථිවිය පිළිබඳවූද, අහස පිළිබඳවූද, ශාස්ත්‍රයන්හි මාගේ ශිෂ්‍යයෝ දක්‍ෂවූහ.

’’අල්පෙච්ඡවූ, අල්පාහාරවූ, ලොල්බව නොමැති, ප්‍රාඥවූ මොව්හු ලාභ අලාභ දෙකින්ම එකසේ සතුටුවූවාහු, හැමකල්හි මා පිරිවරත්.

’’ධ්‍යාන කරණ සුළුවූ, ධ්‍යානයෙහි ඇළුනු, ධෛර්‍ය්‍යවත්වූ, ශාන්තවූ, එකඟවූ සිත් ඇති, පළිබෝධ විරහිත බව කැමති වන්නාවූ එම තව්සෝ හැමකල්හි මා පිරිවරත්.

’’පඤ්චාභිඥාවන්හි පරතෙරට පත්, අනුන්හට වචනයෙන් කියා (විඤ්ඤත්තියෙන්) පිළියෙලකර නොගත් බුදුන් වහන්සේ විසින් අනුදන්නා ලද ආහාරයෙහි ඇළුනාහු, අහසින් යාම් ඊම් කරන්නාවූ, වීර ගති ඇති එම තවුසෝ හැම කල්හි මා පිරිවරත්.

’’සදොර සංවරණය කරගත්, තෘෂ්ණාවෙන් තොර, සුරැකි ඉඳුරන් ඇති, ගිහියන් සමග නොගැටෙන, ලංවිය නොහැක්කාවූ ඒ ධෛර්‍ය්‍යවත් මාගේ ශිෂ්‍යයෝ

’’ගැටීමට නුසුදුසුවූ මොවුහු පළඟ බැඳීමෙන්, හිඳීමෙන් හා සක්මන් කිරීමෙන්ද රාත්‍රිය ගෙවත්.

’’ලංවිය නොහැක්කාවූ මාගේ (ඒ) ශිෂ්‍යයෝ ඇලිය යුතු දෙයෙහි නොඇලෙත්. ගැටියයුතු දෙයෙහි නොගැටෙත්. මුළාවියයුතු දෙයෙහි මුළා නොවෙත්

’’යුගග්‍රාහයෙන් හෙවත් කලහ කිරීමෙන් ගැටීමට නුසුදුසුවූ ඒ මාගේ ශිෂ්‍යයෝ පෘථිවිය කම්පණය කරත්. නිරතුරුවම විකුර්‍වණ ඎද්‍ධි විමසමින් පවතිත්.

’’එම ශිෂ්‍යයෝ ඉදින් ක්‍රීඩා කරන්නාහු නම් ධ්‍යාන ක්‍රීඩාවම කරත්. ළංවිය නොහැකි තෙදින් යුත් ඔවුහු (දඹදිව ප්‍රසිද්ධ) දඹ රුකින් ගෙඩි ගෙනෙත්.

’’ලංවිය නොහැක්කාවූ ඔවුනතුරෙන් ඇතැමෙක් ප්‍රත්‍ය සෙවීම පිණිස අපරගොයානයට යෙත්. ඇතැමෙක් පූර්‍වවිදේහයටද, ඇතැමෙක් උතුරුකුරු දිවයිනටද යෙත්.

’’අහසින් යන්නාවූ මාගේ ශිෂ්‍යයෝ තවුස් පිරිකර කද යවති. ඔවුහු පසුව යෙත්. සූවිසි දහසක්වූ ඔවුන් විසින් අහස් තලය වසන ලද්දේ වේ.

’’ඔවුනතුරෙන් ඇතැමෙක් (පලාඵලපත්‍රාදිය) ගින්නෙන් පිස කති. ඇතැමෙක් නොපිස අමුවෙන්ම කති. ඇතැමෙක් දත්වලින්ම පොතු ගලවා කති. කිසිවෙක් වනෙහි ලා කොටාගෙන කති. (එසේම) ඇතැමෙක් ගලින් කොටා කති. ඇතැමෙක් ස්වයං පතිත ඵලාහාරයෙන් ජීවත් වෙති.

’’ලංවිය නොහැක්කාවූ මාගේ ශිෂ්‍යයෝ ශුද්‍ධිය කැමති වන්නාහු, දියෙන් තෙමා තෙමීම කරන්නාහු, උදැහැනද, සවසද දියෙහි ගිලෙති.

’’දුරාසදවූ මාගේ ශිෂ්‍යයෝ කැසි (කිසිලි) නිය ලොම් ඇත්තාහු, මල බැඳුණු දත් ඇත්තාහු, දූවිලි මැකුණු හිස් ඇත්තාවූ සීල සුගන්‍ධයෙන් සුගන්‍ධවත් වූහ.

’’එකල්හි උත්‍ර තපස් ඇති ජටාධරවුූ මෙම තවුසෝ උදෑසනම (තමාවෙත) රැස්ව (ඔවුනට ලැබුණු) කුඩා මහත් ලාභයන් කියා අහසෙහි යති.

’’(එසේ) යන්නාවූ ඔවුන්ගේ වැහැරි සිව්රුවලින් හටගත් මහා ශබ්ද පවතී. අලුත් දිවිසම් හඬින් දෙවියෝ සොම්නස්වූවාහු වෙති.

’’අහසෙහි හැසිරෙන්නාවූ එම ඎෂීහු දිසානුදිසාවනට ගමන් කෙරෙති. ස්වකීය ශරීර බලයෙන් හා ධ්‍යාන බලයෙන් යුත් ඔවුහු යම් යම් තැනකට යනු කැමැත්තාහු නම් ඒ ඒ තැනටම යෙත්.

’’මේ සියළුතන්හි කැමතිසේ හැසිරෙන මොවුහු හැමදෙනම පෘථිවි කම්පණයෙහි සමත්වූවෝද, අහසෙහි හැසිරීමෙහි දක්‍ෂවූවෝද, උග්‍ර තේජස් ඇත්තාහුද, අභිභවනය කළ නොහැක්කාවූද, සයුර මෙන් අනුන් විසින් නොකැළඹිය හැක්කේ වෙයි.

’’ගුණයන් කරණකොට ලංවිය නොහැක්කාවූ මාගේ ශිෂ්‍යයන්ගෙන් ඇතැමෙක් සිටීමය, සක්මන් කිරීමය යන ඉරියව් දෙකින් යුක්තයෝය. ඇතැමෙක් හිඳීම් ඉරියව් පමණක් ඇති ඎෂිවරයෝය. (එසේම) ඇතැමෙක් ස්වයං පතිත ඵල අනුභව කරන්නෝ වෙති.

’’මොවුහු සව්සත්නට හිතවත්වූවාුි, මෛත්‍රී විහරණ ඇත්තාහුය. සියල්ලෝම තමා උසස්කොට නොදක්වන්නේය. කිසිවෙකු හෙළා දකින්නෝද නොවෙති.

’’සිහ රජුන් මෙන් නිර්භීතව, ඇත් රජුන් මෙන් බලවත්ව, ව්‍යාඝ්‍රයන් මෙන් ලංවිය නොහැක්කන්ව (එම ඎෂීහු) මාගේ සමීපයට පැමිණෙත්.

’’විද්‍යාධරයෝද, දේවතාවෝද, නාග, ගාන්‍ධර්‍ව, රාක්‍ෂස, කුම්භාණ්ඩ, අසුර, ගුරුළු යන මොවුහුද ඒ විල ඇසුරෙන් වෙසෙත්.

’’ජටාවන්හි හා තවුස් පිරිකර කදවල බර උසුලන්නාවූ, අඳුන් දිවි සම් උත්තරාසඞ්ගයන් ඇති ආකාශචාරීහු හා සියළුම ඎෂීහු එම විල ඇසුරෙන් වෙසෙති.

හැම කල්හි මනා පැවතුම් ඇති මෙම ඎෂීහු ඔවුනොවුන්ට ගෞරව සහිතවූවාහු සූවිසි දහසක්වූ මොවුන්ගේ කිඹිසිලි ශබ්දයකුදු නැත.

’’පියෙහි පිය නොතබන්නාහු නිශ්ශබ්දව මනා සංවරයෙන් යුත්ව සියල්ලෝම මා වෙත එළඹ හිස නමා වඳිත්.

’’ශාන්තවූ තපෝ ගුණ ඇති එම සිසුන් විසින් පිරිවරණ ලදුයේ මම එම අසපුවෙහි ධ්‍යාන කරණ සුළුව, ධ්‍යානයෙහි ඇළුනේ වෙසෙමි.

’’ඎෂීන්ගේ සිල් සුවඳින්ද, (මල්වල) සුවඳින්ද යන මේ උභය සුගන්ධයෝ හා ගෙඩිවල සුවඳින්ද අසපුව සුවඳවත්වේ.

’’රෑ දාවල් නොදනිමි. මාගේ සිත්හි කුසල් දහම්හි නොඇලීමක් නැත. මම සියළු සිසුන්ට අවවාද කරන්නේ වැඩියක්ම ප්‍රීතිය ලබමි.

’’පිපෙන්නාවූ මල්වලද, පැසෙන්නාවූ ගෙඩිවලද දිව්‍යමයවූ සුගන්ධයෝ මාගේ අසපුව හොබවමින් හමත්.

’’එකල්හි මම සමාධියෙන් නැගිට කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සප්‍රාඥවූයේ, තවුස් පිරිකර කදෙහි බරද ගෙන වනයට පිවිසෙමි.

’’(උල්කාපාත භූමි චලනාදී භූත විකෘතීන් පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා උත්පාත ශාස්ත්‍රයෙහිද, සිහිනයන් පිළිබඳ ශුභා ශුභ දැනගන්නා සුපින ශාස්ත්‍රයෙහිද, අංග ලක්‍ෂණ බලා ජීවිතය පිළිබඳ තොරතුරු පවසන ලක්‍ෂණ ශාස්ත්‍රයෙහිද මැනවින් හික්මුනේ, මුළු දඹදිවම පවත්නා මන්ත්‍ර පදද දරමි.

’’ලෝකයෙහි ජ්‍යෙෂ්ඨවූද, නරශ්‍රේෂ්ඨවූද, සියල්ල දත්තාවූ, අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ විවේක සැප කැමති සේක් හිමවතට එළඹිසේක.

’’පුරුෂෝත්තමවූ, අග්‍ර කාරුණීකවූ, බුදුරජාණන් වහන්සේ හිමවතට පිවිස පළඟ බැඳ වැඩහුන් සේක.

’’මහනෙල් මලක් මෙන් ප්‍රභාව සහිතවූ, මනරම්වූද යාග ද්‍රව්‍ය අනුභව කරන්නාවූ, දිලිසෙන ගින්නක් වැනිවූ, බුදුරජාණන් වහන්සේ එහිදී දුටුවෙමු.

’’පහන් රුකක් මෙන් දිලිසෙන්නාවූද, අහසෙහි විදුලියක් වැනිවූද, මනාව පිපීගිය සල් රුකක් වැනිවූද, බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

’’මේ අග නම්වූ, පව් නැති මහාවීරවූ, දුක් කෙළවර කරන්නාවූ බුදුරජාණන් වහන්සේය. මේ දර්‍ශනය නිසා (සත්ත්‍වයෝද) සියළු දුකින් මිදෙත්.

’’දෙවියන්ට දෙවිවූ උන්වහන්සේ දැක මම බුදුකෙනෙක් දෝයි ලක්‍ෂණ පරීක්‍ෂා කෙළෙමි. ඒකාන්තයෙන් පසැස් ඇති උතුමෙකැයි දකිමි.

’’උතුම්වූ ශ්‍රී පාදයන්හි දහසක් ඇති චක්‍ර ලක්‍ෂණයෝ පෙනෙත්. උන්වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණ දැක තථාගත බැව්හි නිශ්චයට පැමිණියෙමි.

’’එකල්හි මුස්න ගෙන හැමද මල් ගෙනවුත් බුද්‍ධ ශ්‍රේෂඨයන් වහන්සේ පිදීමි.

’’චතුරෝඝයන් තරණය කළාවූ, ආශ්‍රව රහිතවූ, සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ පුදා, අඳුන් දිවි සම් සකස්කොට ලෝකනායකවූ තථාගතයන් වහන්සේට නමස්කාර කෙළෙමි.

’’ආශ්‍රව රහිතවූ බුදුරජාණන් වහන්සේ යම් කාරණයකින් යුක්තව වැඩ විසූ සේක් නම් යම් කාරණයකින් ඒ ඥානය කියන්නෙමි. කියන්නාවූ මාගේ ඒ වචනය අසව්.

’’අමතොදය හෙවත් අපමණවූ දියුණුව ඇති බුදුරජාණන් වහන්ස, මේ ලෝකවාසී සත්ත්‍වයා නගාලනු මැනවි. ඔබ වහන්සේගේ දර්‍ශනය නිසා සැකය නැමැති සැඩ පහර තරණය කෙරෙත්.

’’ඔබ වහන්සේ සත්ත්‍වයන්ගේ ශාස්තෘ වන සේක. (උසස් බැවින්) ජයකොඩියද, (ලෙව්හි ප්‍රකට බැවින්) ධර්‍මවිජයද, (තිලොවෙහිම උඩට නැගී පෙනෙන බැවින් ඔසවා බිම සිටුවන ලදී.) යාගස්තම්භයද වන සේක. ඔබ වහන්සේම දෙපා ඇතියනට උතුම් වන සේක. (මොහඳුර නසන බැවින්) ප්‍රදීපයද (භවසත්නට) උතුම් පිහිටද පිහිටන තැනද වන සේක.

’’සමුදුරෙහි ජලය නැළියකින් මිණුමට හැකිවුවද, ඔබ වහන්සේගේ සර්‍වඥතාඥානය මිණුමට නොහැක්කේමය.

’’මහපොළොව තරාදි තට්ටුවේ තබා කිරා බැලීමට හැකිවුවද, ඔබ වහන්සේ හෝ සර්‍වතාඥානය කිරා බැලීමට නොහැක්කේමැයි.

’’අහස රැහැනෙන් හෝ අඟුලෙන් හෝ මිණිය හැකිවුවද, ඔබ වහන්සේ ගේ සර්‍වතාඥානය මිණුමට නොහැක්කේමය.

’’බුද්‍ධඥානය තෙම මහා සමුද්‍රයෙහි අපමණවූ ජලයද, අප්‍රමාණවූ මහ පොළොවද ඉක්මවා යයි. බුදු නැණ නිසා උපමා වශයෙන් කිසි වස්තු කෙනෙක් නොයෙදෙත්මැයි.

’’පසැස් අතියාණන් වහන්ස, දෙවියන් සහිත සත්ත්‍ව ලෝකයෙහි යම් පමණ සත්ත්‍ව කෙනෙක් පිළිබඳව සිත පවතී නම් එපමණවු මේ සත්ත්‍ව සමූහයා ඔබ වහන්සේගේ නුවණ නැමැති දැලෙහි ඇතුලට පිවිසියාහු වෙති.

’’සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේගේ යම් නුවණක් කරණකොට ගෙන හුදු උතුම්වූ සම්‍යක් සම්බෝධියට පැමිණියෙහිද, එම ඥානය කරණකොට ගෙන අන්‍ය තීර්ත්‍ථකයන් මඩිනෙහිය.

’’ඒ සුරුචිනම් තවුස්තෙම (සෙසු අටුවාවන්හි සරද තවුස්යයි දක්වා ඇත.) මෙම ගාථාවන්ගෙන් (උන්වහන්සේට) ස්තූතිකොට පොළවෙහි අඳුන් දිවිසම එලා හිඳගත්තේය.

’’මහමේරු පර්‍වත රාජයා මහසමුදුරෙහි යොදුන් අසූහාරදහසක් ඇතුළට බැසගත්තේ එපමණට (යොදුන් අසූහාරදහසක්) (සමුදුරෙන්) උඩට ඇත්තේයයි කියනු ලැබේ.

’’දිගු පුළුලිනුදු එපමණම උස්ව නැගුනු මේරු පර්වතය කෙළ ලක්‍ෂගණන්වූ අණුභෙදයන් සුණු කරණ ලද්දේ,

’’(එම අණු නම් සියුම් කොටස්) අලගු බවට තැබූයේ නමුදු ඔබ වහන්සේ ගේ සර්‍වතාඥානය ප්‍රමාණ කරන්නට නොහැක්කේමය.

’’යමෙක් සියුම් ඇස් සිදුරු ඇති දැලක් දියෙහි දමාද එවිට ජලයෙහි යම්කිසි ප්‍රාණී කෙනෙක් වෙත් නම් (ඔවුහු) එම දැළ තුලට වදින්නාහුය.

’’මහා වීරයන් වහන්ස, එසේම යම්කිසි පෘථග්ජන තීර්ත්‍ථක කෙනෙක් දෙසැට මිසදිටු නැමැති (ගෙතුනුවන) ගහනයට පිවිසියාහු එම මිසදිටු දැඩිකොට ගැනීම් වශයෙන් මුලාවූවාහු වෙත්.

’නිරාවරණවූ දක්නා සුළුවූ ඔබ වහන්සේ ගේ පිරිසිදු ඥානය කරණකොටගෙන තමන් වහන්සේගේ නැණ ඇතුළට පිවිසියාවූ මේ තීර්ත්‍ථකයෝ ඔබ වහන්සේ ගේ නුවණ නොඉක්මවත්.

’’පස්මරුන් දිනූ මහා යසස්කවූ අනවමදර්ශී නම් භාග්‍යවතුන් වහන්සේ එසමයෙහි සමාධියෙන් නැගිට සියලු දිශාවලෝකනය කළ සේක.

’අනවමදර්ශී නම් බුදුරජාණන් වහන්සේගේ නිසභ නම් ශ්‍රාවකතෙම සන්සිඳුනු සිත් ඇති (අට ලෝ දහම්හි නොසැලෙන) තාදී ගුණ යුත් ශුද්‍ධවූ ශඩභිඥා ඇති ධ්‍යාන කරණ සුළුවූ ලක්‍ෂ ගණන් රහතුන් විසින් පිරිවරණ ලදුයේ, බුදුරජාණන් වහන්සේගේ සිත දැන (ඒ) ලෝක නායකයන් වහන්සේ වෙත එළඹියේය.

’’එහි අහසෙහි සිටියාවූ එම පිරිස (බුදුරජාණන් වහන්සේ) ප්‍රදක්‍ෂිණා කළාහුය. බැඳැඳිලි ඇතිව නමඳිමින් සර්‍වඥයන් වහන්සේ වෙතට බැස්සාහුය.

’’ලෝකයේ ජ්‍යෙෂ්ඨවූ, පස්මරුන් දිනුවාවූ, අනවමදර්ශී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා ඉදිරියෙහි වැඩ හිඳ සිනා පහළ කළ සේක.

’’මහර්ෂිවූ සර්‍වඥයන් වහන්සේගේ ’’වරුණ’’ නම් උපස්ථායක තෙමේ සිව්ර එකස්කොට ගෙන ලෝක නායකවූ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විචාළෝය.

’’ භාග්‍යවතුන් වහන්ස, ශාස්තෘවූ ඔබ වහන්සේගේ සිනා පහළ කිරීමට හේතුව කුමක්ද? ඒ සර්‍වඥ බුදුවරයාේ අකාරණයෙන් සිනා පහළ නොකරති.’’

ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂඨවූ අනවමදර්ශී භාග්‍යවතුන් වහන්සේ සංඝයා මැද හිඳ මෙම ගාථාව වදාළ සේක.

’’යම් තව්සෙක් තෙම මා මලින් පිදීද, මාගේ (සර්‍වඥතා) ඥානයට නැවත නැවත ස්තූති කෙළේද, ඒ තවුසා (කවරෙක්දැයි) මම තොපට පැහැදිලි කරන්නෙමි. එය පවසන්නාවූ මාගේ වචනය අසව්.

’’ බුදුරජාණන් වහන්සේගේ වචනය දැන සියලු දෙවියෝ එක්වූහ. සද්ධර්‍මය අසනු කැමැත්තාවූ ඔවුහු බුදුරජාණන් වහන්සේ වෙත එළඹියාහුය.

’’සියලු ලෝක ධාතූන්හි මහර්ධි ඇති ඒ දේව සමූහයා සද්ධර්‍මය අසනු කැමැත්තාහු, බුදුරජාණන් වහන්සේ වෙත එළඹියාහුය.

’’ඇත්, අස්, රිය, පාබල යන සිව්රඟ සෙනග නිතර මා පිරිවරන්නාහුය. බුද්‍ධ පූජාවෙහි මේ ඵලයයි.

’’සැට දහසක් තූර්‍ය්‍යයෝද, අලංකාර කළ ගෙරීහුද, මට නිතර (වැඩීමෙන්) උවටැන් කරන්නාහුය. මෙය බුද්ධ පූජාවෙහි ඵලයයි.

’’මැනවින් අලංකාර කරණ ලද සොළොස් දහසක් ස්ත්‍රීහු, විසිතුරු ආභරණ ඇත්තාහු, එල්බන ලද මිණි කොඬොල් ඇත්තාහු, දිග ඇසි පිහාටු ඇත්තාහු, සිනා සහිත වූවාහු, මැනවයි හැඳින්විය යුතු ශරීරාවයව ඇත්තාහු, නිරතුරුවම මොහු පිරිවරන්නාහුය. බුද්ධ පූජාවෙහි මේ බලයයි.

’’කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව් ලොවෙහි සිත් අලවා වසන්නේය. දහස් වරක් රටෙහි සක්විති රජ වන්නේය.

’’ශක්‍ර දේවේන්ද්‍රව දහස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. (කරන්නාවූ) උදාරවූ ප්‍රදේශ රාජ්‍යයන් ගණන් වශයෙන් අප්‍රමාණය.

’’අන්තිම (රහත්වන) භවය පැමිණි කල්හි මිනිසත් බවට පැමිණෙන්නේය. ’’සාරී’’ නම් බැමිණිය හෝ කුසින් දරන්නීය.

’’මේ තැනැත්තේ මවගේ නාම ගෝත්‍රයෙන් ප්‍රකට වන්නේය. නාමයෙන් ශාරීපුත්‍ර නම්වූ තීක්‍ෂණ ප්‍රඥා ඇත්තෙක් වන්නේය.

’’අසූ කෙළක් ධනය හැරදමා අකිඤ්චනව (ධනය නැත්තෙක්ව) පැවිදිවන්නේය. මොක්‍ෂ පදය සොයමින් මේ පෘථිවියෙහි සැරිසරන්නේය.

’’මෙයින් අපරිමෙය කල්පයෙහි (එකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මතුයෙහි) ඔක්කාක කුලයෙහි උපදින ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේය.

’’උන්වහන්සේගේ ධර්‍මය දායාදකොට ඇති ඖරස බුද්‍ධපුත්‍රවූ, ධර්‍මයෙන්ම මවාලූවාක් වැනි නම්න් ශාරීපුත්‍ර නම්වූ අග්‍ර ශ්‍රාවකයෙක් වන්නේය.

’’හිමවතින් පටන්ගත් භාගීරථී ගංගා තොමෝ ජලස්කන්‍ධය බස්වමින් සාගරයට පැමිණෙන්නීය.

’’එසේම මේ ශාරීපුත්‍ර තෙමේ ස්වකීය (කුල පරම්පරාවෙහි) පවත්නාවූ ත්‍රිවේදයෙහි විශාරදවූයේ, ප්‍රඥාවෙන් ශ්‍රාවකපාරමීඥානයෙහි තෙරට ගොස් (සියලු) සත්ත්‍වයන් සන්තර්‍පණය කරන්නේය.

’’හිමාලය පර්‍වතයෙහි පටන් මහා ජලස්කන්‍ධය දරන්නාවූ සයුර දක්වා මේ අතරෙහි යම් පමණ වැලි කැට රැසක් ඇද්ද, එය ගණන් වශයෙන් අසඞ්ඛ්‍යවේ.

’’ඒ වැලි රැසද නිරවශෙෂයෙන් (සම්පූර්‍ණයෙන්) ගණන මෙපමණයයි ප්‍රමාණ කරන්නට හැකිවන්නේ නමුදු ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නොවන්නේය.

’’අලගු තබන කල්හිද, ගංගා නම් නදියෙහි වැලි අවසන් වන්නේය. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නොවන්නේමැයි.

’’මහ සයුරෙහි රළ ගණන් වශයෙන් මෙපමණයයි සංඛ්‍යා කළ හැකි නොවේ. එසේම ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නොවන්නේමැයි.

’’ශාක්‍යකුල ශ්‍රේෂ්ඨවූ ගෞතම සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ සතුටුකොට, ප්‍රඥාවෙන් ශ්‍රාවකපාරමීඥානයෙහි තෙරෙට ගොස් අග්‍රශ්‍රාවකයෙක් වන්නේය.

’’තාදී ගුණ ඇති (අට ලෝ දහම්හි නොසැලෙන) (සර්‍වඥවූ) ශාක්‍ය පුත්‍රයන් වහන්සේ විසින් පවත්වන ලද ධර්‍ම චක්‍රය (සද්ධර්‍මය) මැනවින් දහම් වැසි වස්වමින් ඒ අනුවම පවත්වන්නේය.

’’ශාක්‍යකුල ශ්‍රේෂ්ඨවූ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සියල්ල (වෙසෙසින්) නුවණින් දැන භික්‍ෂු සංඝයා මද්‍ධ්‍යයෙහි හිඳ අග්‍රස්ථානයෙහි තබන්නේය.

’’අනවමදර්ශී බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි මා විසින් පුණ්‍ය කර්මයක් මැනවින් කරණ ලදී. යම් ඒ අනවමදර්ශී නම් බුදුවරයෙක් වීද, උන්වහන්සේ විෂයෙහි එකී පුණ්‍යසම්භාරය කොට සියලු ගුණ සමූහයෙහි පරතෙරෙට ගියේ වෙමි. ආශ්චර්‍ය්‍යයෙකි.

’’අපමණ කලක් මුළුල්ලෙහි මා විසින් කරණ ලද කුශල කර්‍ම ඵලය මේ පශ්චිමාත්මභාවයෙහිදී දැක්වීය. (දුනුදියෙන්) මැනවින් මිදීගිය හී වේගය මෙන් මම කෙළෙස් දැවීමි.

’’හේතු ප්‍රත්‍ය වශයෙන් සංස්කරණය නොවන බැවින් අසංස්කෘතවූ, නිශ්චලවූ, නිර්‍වාණ පදය සොයන්නේ සියළු තීර්ත්‍ථකයන් පරීක්‍ෂා කරන්නේ එකල්හි මම භවයෙහි සැරිසැරුවෙමි.

’’ලෙඩකින් පෙළෙන්නාවූ පුරුෂයෙක් තෙම ලෙඩින් මිදීම පිණිස යම් සේ ඖෂධයක් සොයන්නේද, සියළු වනය (ඖෂධ පිණිස) පරීක්‍ෂා කරන්නේද,

’’අසංස්කෘත (හේතු ප්‍රත්‍ය බලයෙන් සකස් නොවන) අමෘත පදයවූ නිර්‍වාණය සොයන්නේ, අවිච්ඡින්නව (නොකඩවා පිළිවෙළින්) පන්සියයක් ජාතීන්හි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිවීමි.

’’මම තවුස් දළමඩුළු බරින් බරවූයේ, අඳුන් දිවි සමින් කළ උතුරු සළු පොරවන්නේ, අභිඥාවරුන්ගේ පරතෙරට පැමිණ බඹලොව ගියෙමි.

’’බුදුසසුන හැර ඉන් පිටත්හිවූ සසුනක ශුද්‍ධියක් නැත. බුද්ධිමත්වූ කිසියම් සත්ත්‍ව කෙනෙක් වෙත්නම් සර්‍වඥ ශාසනයෙහි ශුද්ධිය ලබත්.

’’මෙය තමා විසින් කරණ ලද පුණ්‍ය කර්‍ම බලයෙන් ජනිතවූවකි. මෙය මෙසේ වීයයි කියන ප්‍රළාපයක් නොවේ. මම නිවණ සොයන්නේ වැරදි තීර්ත්‍ථයන්හි හැසුරුනෙමි.

’’යම්සේ හර කැමැත්තාවූ පුරුෂයෙක් තෙම කෙසෙල් ගසක් කපා පලන්නේද, (හෙතෙම) එහි හරයක් නොලබන්නේයි. එය හරයෙන් තොර ගසකි.

’’එසේම ලෝකයෙහි තීර්ත්‍ථකයෝද, නා නා දෘෂ්ඨි ගත් බොහෝ දෙනාද නිවණින් හිස්වූවෝම වෙති. හරයෙන් හිස්වූ කෙසෙල්ගස් මෙනි.

’’අන්තිම භවය පැමිණි කල්හි මම බ්‍රහ්මබන්ධු හෙවත් බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෙක් වීමි. මහත්වූ භොකස්කන්‍ධය හැර අනගාර්‍ය්‍ය නම් ශාසනයෙහි පැවිදිවීමි.

පළමුවෙනි බණවර නිමි.

’’වේද හදාරන්නාවූ, මන්ත්‍රධරවූ, ත්‍රී වේදයෙහි පරතෙරට ගිය සඤ්ජය නම් බමුණෙක් විය. මම ඔවුන්ගේ සමීපයෙහි වසමි.

’’මහා වීරයන් වහන්ස, අස්සජි නම් බ්‍රාහ්මණ තෙම ඔබ වහන්සේ ගේ ශ්‍රාවකයෙක් විය. එකල්හි ලංවිය නොහැක්කාවූ, උග්‍රවූ තේජස් ඇති උන්වහන්සේ පිඬු පිණිස හැසිරෙන සේක.

’’මැනවින් පිපි පියුමක් වැනිවූ, අති ශ්‍රේෂ්ඨවූ, ශාන්ත සිත් ඇති, සප්‍රාඥවූ, මොන නම්වූ ඥානයෙහි එකඟ සිත් ඇති ඒ ස්ථවිරයන් වහන්සේ දුටුවෙමි.

’’දැක මැනවින් දමනයවූ පිරිසිදු සිත් ඇති ශ්‍රෙෂ්ඨවූද, උත්තමවූද, වීරවූද මුන්වහන්සේ රහත් කෙනෙක් වන්නේයයි මා තුළ අදහසක් ඇතිවිය.

’’දුටුවන් පහදවන සුළුවූයේ ඉරියව් පවත්වයි. මනා රූ ඇත්තේය. සංවරණය කළ ඉඳුරන් ඇත්තේය. උතුම් දමනයෙන් දැමුනු අමෘත (නිවණ) දක්නා සුළු කෙනෙක් වන්නේය.

’’මම සතුටු සිත් ඇති උන්වහන්සේගෙන් (තමන් වහන්සේ පැමිණ සිටින) උතුම් ඵලය ගැන විචාරන්නෙම් නම් ඉතා යෙහෙකි. මා විසින් විචාරණ ලද හෙතෙම (එය) කියන්නේය. එකල්හි මම නැවත විචාරමි.

’’මම අමෘත පදය ගැන විචාරන්නට අවසරයක් බලමින් පිඬු පිණිස හැසිරෙන්නාවූ උන්වහන්සේ පසුපසින් ගියෙමි.

’’මම වීථිය තුළට පැමිණි උන්වහන්සේ වෙත එළඹ, ’’වීරයන් වහන්ස, ඔබ කිනම් ගෝත්‍ර ඇත්තේ වෙහිද? නිදුකාණන් වහන්ස, කවරෙකුගේ ශිෂ්‍යයෙක් වෙහිද?’’

’’මා විසින් විචාරණ ලද උන්වහන්සේ කේශර සිංහයෙකු මෙන් නිර්භීතව මෙසේ ප්‍රකාශ කළ සේක. ’’බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේකි. ඇවැත්නි, මම උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙමි’’ යි කියායි.

’’අනුජාත බුද්ධ පුත්‍රයාණෙනි, මනස් ඇත්තාණෙනි, මහා වීරයාණෙනි, ඔබගේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසන ධර්‍මය කෙබඳුද? පින්වත, මට ඒ යහපත්වූ ශාසනය පවසනු මැනව.’’

’’මා විසින් විචාරණ ලද හෙතෙම ගැඹුරුවූ, සියුම්වූ, තෘෂ්ණා නමැති හුල නැතිකරන්නාවූ, සියලු දුක් නැතිකරන්නාවූ අමෘත පද නම් ධර්‍මය මෙසේ පැවසීය.

’’හේතු ප්‍රභවවූ හෙවත් හේතූන් නිසා ඇතිවන්නාවූ, යම් ඒ ධර්‍ම කෙනෙක් ඇත්නම් එම (ඵල) ධර්‍මද, එකී ඵල ධර්‍මයන්ගේ ඇතිවීම වන්නාවූ හේතු ධර්‍මද, තථාගතයන් වහන්සේ වදාළහ. (එසේම උන්වහන්සේ) මෙකී හේතු ධර්‍මයන්ගේ වැළැක්ම (නිරෝධය) ද, හේතු නිරෝධයෙන් ඇති වන්නාවූ ඵල නිරෝධයද වදාළ සේක. මහා ශ්‍රමණවූ බුදුරජාණන් වහන්සේ මෙබඳු කථා ඇති සේක යනුයි.

’’ඒ මම ප්‍රශ්නය (මෙසේ) විසඳූ කල්හි ප්‍රථම ඵලයට හෙවත් සෝවාන් ඵලයට පත්වීමි. (එම) බුද්‍ධානුශාසනය අසා කෙලෙස් රජස් රහිතවූ නිර්‍මල කෙනෙක් වීමි.

’’(අස්සජි) තෙරුන්ගේ වචනය අසා උත්තමවූ ධර්‍මය (ආර්‍ය්‍ය මාර්‍ගයෙන්) දැක බැසගන්නාලද බුදුසසුන් ඇත්තෝ මම මේ ගාථාව කීමි.

’’ධර්‍මය මෙයය. ඉදින් මෙයට වඩා උසස් ධර්‍මයක් නැත. නිර්‍වාණ පදය (ඔබ) ප්‍රතිවේධ කළෙහිය. බොහෝවූ කල්ප නහුත ගණනක් ඉක්මවන ලද නමුත් නොදක්නා ලදී.

’’ඒ මම ධර්‍මය සොයන්නේ දහම් නැති තැන්වල හැසුරුණෙමි. ඛේදයකි. මාගේ ඒ අර්ත්‍ථය සම්පූර්‍ණ විය. මට පමා නොවන්නට කාලයයි.

’’අස්සජි තෙරුන් විසින් සතුටු කරණ ලද මම නිශ්චලවූ අමෘත පදයට (සෝවාන් ඵලයට) පැමිණ මිත්‍රයා (කෝලිත) සොයමින් අසපුවට ගියෙමි.

’’මාගේ මනාව හික්මුනාවූ මිත්‍ර තෙමේ දුරදීම සන්හුන් ඉරියව්වලින් මා දැක මෙම වචනය කිය.

’’(ඔබ) පහන්වූ මුහුණ හා නෙත් ඇත්තෙහිය. භික්‍ෂුවකගේ ස්වභාවය මෙන් පෙනේ. කිම අමෘතය (නිවණ) අවබෝධ කළෙහිද? අච්‍යුත නම් නිර්‍වාණ පදය අධිගම කෙළෙහිද?

’’(ඔබ) පහන් පැහැයට සුදුසුව පැමිණෙන්නෙහිය. (හෙණ්ඩු) ආදියෙන් නිශ්චල බවට පත්කළ ඇතෙකු මෙනි. මනාව හික්මුණු කෙනෙකු මෙනි. බ්‍රාහ්මණය, (ඔබ) ශික්‍ෂිත ශික්‍ෂා ඇත්තේ සන්සිඳුනේ වෙහිද?

’’ශෝකය නමැති හුල දුරු කරන්නාවූ (ඇද දවන්නාවූ) අමෘතය (නිර්වාණය) මා විසින් අවබෝධ කර ගන්නා ලදී. ඔබද එය අවබෝධ කර ගනුව. (අපි) බුදුරජාණන් වහන්සේගේ සමීපයට යමු.’’

’’මාගේ හික්මුණාවූ ඒ යහළු තෙමේ මැනවයි පිළිවදන් දී, අතින් අත ගෙන ඔබ වහන්සේගේ සමීපයට පැමිණියෙමි.

’’ශාක්‍ය පුත්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේගේ සමීපයෙහි දෙදෙනම පැවිදි වන්නෙමු. ඔබ වහන්සේගේ සසුන නිසා ආශ්‍රව රහිතව වසමු.

’’කෝලිත තෙමේ ඎද්‍ධි දැක්වීමෙන් ශ්‍රේෂ්ඨය. මම ප්‍රඥාවගේ පරතෙරෙට ගියෙමි. දෙදෙනම එක්ව සසුන හොබවමි.

’’අවසන් නොවූ බලාපොරොත්තු ඇත්තේ නොයා යුතු මගෙහි හැසුරුණෙමි. ඔබ වහන්සේගේ දැකීම නිසා මාගේ බලාපොරොත්තුව සම්පූර්‍ණ විය.

’’පොළොවෙහි පිහිටි වෘක්‍ෂයෝ (හෙමන්ත) කාලයෙහි පිපෙත්. සියලු ප්‍රාණීන් සතුටු කරත්. දිව සුවඳ හමත්.

’’මහා වීරයන් වහන්ස, ශාක්‍ය පුත්‍රයන් වහන්ස, මහ යසස් ඇත්තාණන් වහන්ස, (එසේම) ඔබ වහන්සේගේ සසුනෙහි පිහිටා (රහත් මග නුවණින්) පිපෙන්නට සුදුසු කාලය සොයමි.

’’සංසාරයෙන් මුදවන්නාවූ විමුක්තිය නමැති පුෂ්පය සොයන්නේ (දැන්) එම විමුක්ති පුෂ්ප ලාභයෙන් සියලු සත්ත්‍වයන් සතුටු කරමි.

’’පසැස් ඇතියාණන් වහන්ස, බුද්‍ධ ක්‍ෂෙත්‍රය යම් පමණ වේනම් ඒ සියළු තන්හි (කෝටි ලක්‍ෂයක් සක්වළ) සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ හැර ප්‍රඥාවෙන් ඔබ වහන්සේගේ පුත්‍රයාට (ශාරීපුත්‍රයන්ට) සමාන කෙනෙක් නැත.

’’ඔහුගේ ශිෂ්‍යයෝද සුවිනීතයෝය. පිරිසිඳ මැනවින් හික්මුණේය. උතුම් ශික්‍ෂාවෙහි දමනයවූවෝ හැමකල්හි හේ (ඒ ශාරීපුත්‍ර) පිරිවරත්.

’’ධ්‍යාන කරණ සුළුවූ, ධ්‍යානයෙහි ඇළුනාවූ, ධ්‍රෛ්‍යවත්වූ, ශාන්ත සිත් ඇති, සන්සුන්වූ, නැණවත් (මොන නම්වූ නුවණින්) යුත් භික්‍ෂූහු හැමකල්හි හේ පිරිවරත්.

’’අල්පෙච්ඡවූ, ප්‍රාඥවූ, ධ්‍රෛ්‍යයවත්වූ, ස්වල්පාහාර ගන්නාවූ, ලොල් නොවූ, ලාභ අලාභ දෙකෙහි සමව සතුටු වන්නාවූ, (භික්‍ෂූහු) හේ පිරිවරත්.

’’අරණෙහි වසන්නාවූ (ආරණ්‍යක ධූතාඞ්ගධාරීවූ) ධ්‍යාන කරන්නාවූ, රූක්‍ෂ චීවරධාරී (ගොරෝසු සිව්රු දරන්නාවූ) විවේකයෙහි ඇළුනාවූ, ධ්‍රෛ්‍යවත්වූ (භික්‍ෂූහු) හැමකල්හි හේ පිරිවරත්.

’’පිළිපන් සිව්මග ඇති, සතර ඵලයෙහි පිහිටියාවූ, සෙසු ඵල තුනින්ද යුත් මේ සීමිත ශෛක්‍ෂයෝ නිවණ බලාපොරොත්තුවන්නාවූ හේ හැමකල්හි පිරිවරත්.

’’යම් පිරිසිදුවූ සෝතාපන්න මාර්‍ග පලයනට පැමිණියේද, සකෘදාගාමීහුද, අනාගාමීහුද, රහත්හුද වෙත්නම් ඔවුහු හැමකල්හි හේ පිරිවරත්.

’’(සතර) සතිපට්ඨානයන්හි දක්‍ෂවූවෝද (සප්ත) බොද්‍ධ්‍යඞ්ග භාවනාවෙහි ඇළුනෝද, බොහෝවූ ඒ සියලු ශ්‍රාවකයෝ හැමකල්හි හේ පිරිවරත්.

’’(සතර වැදෑරුම්වූ) ඎද්‍ධිපාදයන්හි දක්‍ෂවූවෝද, සමාධි භාවනාවෙහි ඇළුනෝද, (සතර) සම්‍යක් ප්‍රධානයෙහි යෙදුනෝද හේ හැමකල්හි පිරිවරත්.

’’ත්‍රිවිද්‍යා ඇත්තෝද, ෂඩභිඥා ඇත්තෝද, ඎද්‍ධියෙන් හා ප්‍රඥාවෙන් පරතෙරට ගියෝද හේ හැමකල්හි පිරිවරත්.

’’මහා වීරවූ බුදුරජාණන් වහන්ස, මැනවින් හික්මුණාවූ, ලංවිය නොහැක්කාවූ, උග්‍රවූ තේජස් ඇති ඒ මෙබඳුවූ ඔබවහන්සේගේ ශිෂ්‍යයෝ හේ හැමකල්හි පිරිවරත්.

’’සංයතවූ, කෙළෙස් තවන ගුණ ඇති යම් ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ සිංහයෙකු මෙන් නිර්භීත වෙහිය. චන්‍ද්‍රයා මෙන් බැබලෙහිය.

’’වෘක්‍ෂයෝ පොළොවෙහි පිහිටා උඩට නැගෙත්. (වැඩෙත්) මහත් බවටද පැමිණෙත්. ඒ වෘක්‍ෂයෝ පලද දක්වත්. (පල දරත්.)

’’(එසේම) ශාක්‍ය පුත්‍රයන් වහන්ස, මහා යසස් ඇත්තාණන් වහන්ස, ඔබ පොළොව මෙන් වෙහිය. ඔබ වහන්සේගේ සසුනෙහි පිහිටා ඒ උතුමෝ අමෘත ඵලය හෙවත් නිවණ ලබත්.

’’සින්‍ධුය, සරස්වතීය, චන්‍ද්‍රභාගීය, ගංගාය, යමුනාය, සරභූය, මහීය යන මේ ගංගාවෝ වෙත්ද, ගලා බස්නාවූ මේ ගංගාවන් සාගරය පිළිගනී. (සයුරට වැටීමෙන් පසු) එම ගංගාවෝ පළමු නම් අත්හරිත්. සාගරයම ලෙස ප්‍රකට වේ.

’’එසේම චතුර් වර්‍ණයටම අයත්වූවෝ (ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්‍ෂුද්‍රයෝ) ඔබ වහන්සේගේ සමිපයෙහි පැවිදිව පළමු නම් හරිත්. බුද්‍ධපුත්‍රයෝයයි ප්‍රකට වෙත්.

’’යම් සේ අහසෙහි ගමන් කරන්නාවූ නිර්‍මලවූ චන්‍ද්‍රයා සියළු තාරකා සමූහය (ස්වකිය) ප්‍රභාවෙන් මැඩ ලෝකයෙහි අතිශයින් බබළාද,

’’එසේම මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේ දෙවි මිනිසුන් පිරිවරණ ලදුයේ මේ සියලු දෙන ඉක්මවා හැමකල්හි ඔබ වහන්සේම බබලන්නෙහිය.

’’ගැඹුරු දියෙහි නැගුනු රැළහු වෙරළ නොඉක්මවත්. ඒ සියලුම රළයෝ වෙරළෙහි හැපෙත්. කැඩීගිය ඒ රළහු විසිරී යත්.

’’එසේම ලෝකයෙහි නොයෙක් ලබ්ධි ඇති ඒ තීර්ත්‍ථකවූ බොහෝ දෙනා ධර්‍මය අසනු කැමැත්තාවූ ඒ බුදුරජාණන් වහන්සේ නොඉක්මවත්.

’’පසැස් ඇතියාණන් වහන්ස, ඉදින් ඔවුහු ඒ ලබ්ධි ගෙන විරුද්ධ වාදයෙන් (වාද කිරීමට) පැමිණෙත්ද, ඔවුහු ඔබ වහන්සේගේ සමීපයට පැමිණ සුණු විසුණු වෙත්.

’’මහමඩ කරණකොට ගෙන දියෙහි හටගත් කුමුදුද, මන්දුලක නම් පියුම්ද, අනිකුත් බොහෝ ජලජ පුෂ්පයෝද, යම් සේ දිය සමග තැවරී සිටිත් නම්,

’’එසේම ලෝකයෙහි උපන්නාවූ බොහෝ සත්ත්‍වයෝ මඩෙහි කුමුදු මෙන් රාගද්වේෂයින්ගෙන් හටගත් පිළිකුල් ඇත්තාහු උඩට නැගෙත්. (වැඩෙත්.)

’’යම්සේ ජලයෙහි හටගන්නාවූ පියුම් දිය මැද වැඩේද, ඒ පියුම් පිරිසිදු දිය සමග නොගැටේ.

’’එසේම ලොව පහළවූ මහා වීරවූ බුදුරජාණන් වහන්ස, ඔබ පියුමක් මෙන් ලෝකය නමැති ජලයෙහි නොතැවරෙන්නෙහිය.

’’යම්සේ ජලජ පුෂ්පයෝ ඉල් මාසයෙහි බෙහෙවින් පිපෙත්ද, ඒ මාසය නොයික්මවත්ද, (එම) මල් පිපීමට ඒ (සුදුසු) කාලය වේද,

’’එසේම ශාක්‍ය පුත්‍රයන් වහන්ස, ඔබ පුබුදුවූයෙහිය. ඔබ වහන්සේගේ ශිෂ්‍යයෝ (අර්හත් ඵල ඥානයෙන්) පුබුදුවූවාහුය. යම්සේ ජලජවූ පියුම් පිපෙන කාලය නොඉක්මවත්ද, (එසේම ඔවුහු) අවවාදානුශාසනය නොඉක්මවත්.

’’මැනවින් පිපුණාවූ ශාල වෘක්‍ෂ රාජයා දිව සුවඳ හමාද, අනික් සල් රුක් විසින් පිරිවරණ ලද ශාල වෘක්‍ෂ රාජයාම හොබනේ වේද,

’’එසේම මහා වීරයන් වහන්ස, ඔබ (වහන්සේ) බුදු නැණින් පුබුදුවූයෙහිය. භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලදුයේ ශාල වෘක්‍ෂ රාජයෙක් මෙන් හොබනෙහිය.

’’යම්සේ හිමවත් පර්‍වතය හැම සතුනට (අවශ්‍ය) ඖෂධ ඇත්තේ වේද, නාගයනටද, අසුරයනටද, දේවතාවනටද වාසස්ථාන වේද,

’’එසේ මහා වීරයන් වහන්ස, ඔබ ප්‍රාණීන්ගේ සසර ලෙඩ නැසීමට (අවශ්‍ය) ඖෂධ ඇත්තේ වෙහිය. ත්‍රිවිද්‍යා ඇත්තෝද, ෂඩභිඥා ඇත්තෝද, ඎද්ධියෙන් පරතෙරට ගියෝද (ඔබ වහන්සේ ඇසුරු කරන්නේ)

’’ මහා වීරයන් වහන්ස, කාරුණීකවූ ඔබ වහන්සේ විසින් අනුශාසනා කරණ ලද ඔවුහු ධර්‍මරතියෙන් (එසේ ඇලී) ඔබ වහන්සේගේ සසුනෙහි වෙසෙත්.

’’යම් සේ කේශර සිංහයෙක් ගුහාවෙන් නික්ම සිව් දෙස බලා තෙවරක් සිංහ නාද කෙරේද,

’’කේශර සිංහයාගේ ගර්ජනයෙන් සියලු සිව්පාවෝ තැතිගනිත්. ඒ එසේමය. ජාතිමත්වූ සිංහ තෙමේ හැම කල්හි සිව්පාවුන් තැතිගන්වයි.

’’ මහා වීරයන් වහන්ස, ගර්ජනා කරන්නාවූ ඔබ වහන්සේගේ නාදය පෘථිවිය කම්පා කරයි. (ඉන්) අවබෝධයට සුදුස්සෝ (ධර්‍මය) අවබෝධ කෙරෙත්. මාර පාක්‍ෂිකයෝ බිය වෙත්.

’’ මහා මුනීන් වහන්ස, නාදකරන්නාවූ (දහම් දෙසන) ඔබ වහන්සේගේ (නාදයෙන්) සියළු තීර්ත්‍ථකයෝ බිය වෙත්. (ඒ තීර්ථකයෝ) කවුඩු රැළක් මෙන් බිය වූවාහු කේශර සිංහයා කෙරෙන් පළායන සිවුපාවුන් මෙන් වෙත්.

’’ගණ ප්‍රධාන කෙනෙක් ලෙව්හි (කිසිවෙකුට) ශාස්තෘයයි කියත්ද, ඔවුහු පිරිසට (ඒ ශාස්තෘවරයාගෙන් පිළිවෙළින් ආ) පරම්පරාගතවූ ධර්‍මය දේශනා කරත්.

’’ මහා වීරයන් වහන්ස, ඔබ සත්ත්‍වයනට එසේ ධර්‍ම දේශනා නොකෙරෙහිය. හුදෙක් බෝධි පාක්‍ෂීකවූ සත්‍යයන් තෙමේම අවබෝධකොට ගෙන,

’’(සත්ත්‍වයන්ගේ) අජ්ඣාසය හෙවත් චරියාවන්ද, ථාවරගතවූත් මහත්බවට ගිය කෙළෙස්දැයි යන මේ අසයානුසයන්ද (ශ්‍රද්‍ධාදී) ඉන්‍ද්‍රියයන්ගේ බල දුබල බවද (ධර්‍මාවබෝධයට) (සමත් අසමත්) පුඟුලන්ද දැන (සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේ) චාතුර්ද්වීපික මහා මේඝයක් (සිව් දිගටම වසින්නාවූ මහ වැහි වළාවක්) මෙන් (ධර්‍ම දේශනා නමැති සිංහ නාදයෙන්) ගර්ජනා කෙරෙහිය.

’’සක්වල ගැබ කෙළවරකොට නා නා ලබ්ධීන්ට ගැතිව සිතන්නාවූ (පිරී) හුන් පිරිස් වන්නීය. සැක දුරු කිරීම පිණිස ඒ සියලු දෙනාගේ සිත් (මේ මේයයි) දැන (සුදුසු) උපමා කීමෙහි සමත්, බුදුරජාණන් වහන්ස, (ඔබ වහන්සේ) එකම ප්‍රශ්වාසයක් (විසඳා) කියමින්ම (සක්වල ගැබ පුරා සිටි) ප්‍රාණීන්ගේ සැක දුරු කෙරෙහිය.

’’(දිය වසා ඒ මතුපිට වැතිර සිටි) සෙවෙල් මෙන් වූ (පොළොව මතුපිට වැතිර සිටි) මිනිසුන්ගෙන් පෘථිවි තොමෝ පිරී ගියා වන්නීය. ඒ සියල්ලෝ බැඳැඳිලි ඇත්තාහු ලෝක නායකවූ ඒ බුදුරදුන් ගුණ කීවාහුය.

’’ඒ සියලු දිව්‍ය මනුෂ්‍යයෝ කපක් මුළුල්ලෙහිද නා නා ප්‍රකාර ලෙස ගුණ කියන්නාහු නමුදු (එම ගුණ) පමණ කරන්ට නොහැක්කාහුය. තථාගතවරයෝ අපමණ ගුණ ඇත්තාහුය.

’’ස්වකීය ශක්තිය පරිදි මා විසින් බුදුරජාණන් වහන්සේ වර්‍ණනා කරණ ලදී. කෝටි සංඛ්‍යාත කාලයක් මුළුල්ලෙහි (එසේම) ගුණ කීර්‍තණය කළාහුය.

’’ඉදින් මනාව හික්මුණාවූ කිසියම් දෙවියෙක් හෝ මිනිසෙක් හෝ (එම ගුණ) (මහ සමුදුරෙහි) පිරුණ ජලය අවසන් කිරීමට මනින්ට සිතන්නේ නම් හෙතෙම වෙහෙසෙටම පැමිණෙන්නේය.

’’මහා යසස් ඇත්තාණන් වහන්ස, ශාක්‍ය පුත්‍රයන් වහන්ස, (මම) ඔබ වහන්සේගේ සසුනෙහි පිහිටා ප්‍රඥාවෙන් පරතෙරට ගොස් ආශ්‍රව රහිතව වෙසෙමි.

’’තීර්ථකයන් මඩිමි. බුදු සසුන පවත්වමි. අද ශාක්‍ය පුත්‍රවූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ධර්‍ම සේනාපති වෙමි.

’’මා විසින් අපමණ කලක් මුළුල්ලෙහි කරණ ලද කර්‍ම පලය මෙහිදී දැක්වීය. මැනවින් විද හරණා ලද ඊ පහරක් මෙන් මම කෙළෙස් දැවීමි.

’’යම්කිසි මිනිසෙක් තෙම හැම කල්හි හිසින් බරක් දරන්නේ නම් (එම) බර කරණකොටගෙන දුකින් පෙළුණෙක් වන්නේය. (එසේම) බරින් බරට පත්වූවෙක්ද වෙයි.

’’මම ත්‍රිවිධාග්නියෙන් (රාග, දෝෂ, මෝහ) දැවෙමින් සසරෙහි හැසුරුණෙමි. මහමෙර (හිසමත) ඔසවා තබන ලද කල්හි මෙන් භව බරින් බර වූයේ වෙමි.

’’මා විසින් මාගේ (ඒ භව) බර තබන ලදී. සියලු (භව) භවයෝ විධ්වංසනය කරණ ලදහ. ශාක්‍ය පුත්‍රවූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සියලු කටයුතු කරණ ලදි.

’’සම්පූර්‍ණ බුද්‍ධක්‍ෂෙත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ හැර මම ප්‍රඥාවෙන් අග්‍ර වෙමි. මට සමාන කෙනෙක් නොපෙනේ.

’’සමාධියෙහි අතිශයින් දක්‍ෂ වෙමි. ඎද්ධියෙහි පරතෙරෙට ගියේ වෙමි. මම අද කැමති වන්නේ නම් දහසක් මවන්නෙමි.

’’අනුපූර්‍ව විහාරයට වසඟවූ සර්‍වඥයෝ මට සසුන වදාළහ. මාගේ සැතපීම (නම්) නිරෝධය (නිරෝධ සමාපත්තියට සමවැදීම) යි.

’’මාගේ දිවැස පිරිසිදුය. මම සමාධියෙහි දක්‍ෂ වෙමි. සමාධී ප්‍රධානයෙහි යෙදුනේ, බොධ්‍යඞ්ග භාවනාවෙහි ඇළුනේද වෙමි.

’’ශ්‍රාවකයෙකු විසින් කළයුතු සියල්ලක් මා විසින් කරණ ලදී. බුදුරජාණන් වහන්සේ හැර මට සමාන (අනික්) කෙනෙක් විද්‍යමාන නොවේ.

’’සමාපත්ති ක්‍රමයන්හි දක්‍ෂවූයේ (ලෞකීක) ධ්‍යානයන්ටද, (ලෝකෝත්තරවූ) විමොක්‍ෂයන්ටද, ශීඝ්‍රව සමවදින්නේ, බොද්‍ධ්‍යඞ්ග භාවනාවෙහි ඇළුනේ ශ්‍රාවක ගුණයන්ගේ පරතෙරෙට ගියේ වෙමි.

’’පහස්නා (ලබන) ලද ශ්‍රාවක ගුණයෙන්ද (පරිසුත්තමභාරවාද) බුද්‍ධියෙන්ද, ශ්‍රද්‍ධාවෙන්ද යුත් සිත හැම කල්හිම බ්‍රහ්මචාරීන් කෙරෙහි ඇත්තේ වෙමි.

’’උදුරා හළ විෂ (දළ) ඇති සර්‍පයෙක් මෙන්ද, කැඩුණු අං ඇති ගවයෙකු මෙන්ද, බැහැරකළ (ගෝත්‍ර මදාදී) මාන දර්‍ප ඇත්තේ සංඝයාවෙත ආදර බහුමානයෙන් එළඹෙමි.

’’ඉදින් මාගේ ප්‍රඥා තොමෝ මූර්තිමත් වන්නී නම් මහපොළොව සම නොවන්නීය. අනවමදර්ශී බුදුරජාණන් වහන්සේගේ නුවණට පැසසීමේ මේ ඵලයයි.

’’තාදී ගුණ ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් පවත්වන ලද ධර්‍මචක්‍රය මම මැනවින් ඒ අනුව පවත්වමි. (අනවමදර්ශී බුදුරජාණන්ගේ) නුවණ පැසසීමේ මේ ඵලයයි.

’’කිසි කලෙකත් පවිටු බවක්, කුසීත බවක්, පසුබට වීර්‍ය්‍ය ඇති බවක්, අල්ප ශ්‍රුත බවක්, ආචාර විරහිත බවක් මා සමග එක් නොවීය.

’’බහුශ්‍රුත බවද, නුවණැති බවද, සිව් පිරිසිදු කල්හි මැනවින් හික්මුණු බවද, චිත්ත සමථයෙහි යෙදුනු බවද (මාගේ) මස්තකයෙහි (මුදුනෙහි) සිටීවා.

’’මෙහි රැස්වූ පින්වත්නි, තෙපි අල්පෙච්ඡවූවෝද, ලද දෙයින් සතුටු වන්නෝද, ධ්‍යාන ඇත්තෝද, ධ්‍යානයෙහි ඇළුනෝද වව් යන (ඒ වචනය) තොපට කියමි.

’’යමෙක් මම පළමුකොට දැන කෙළෙස් රජස් නැති නිර්‍මල කෙනෙක් වීම්ද ඒ ධෛර්‍ය්‍යමත්වු මාගේ ආචාර්‍ය්‍ය තෙමේ අස්සජි නම් ශ්‍රාවකයන් වහන්සේය.

’’මම උන්වහන්සේගේ බලයෙන් අද ධර්‍ම සේනාපති වීමි. සියලු ගුණයන්හි පරතෙරට පැමිණියේ ආශ්‍රව රහිතව වෙසෙමි.

’’යම් අස්සජී නම් ශ්‍රාවකයෙක් තෙම මාගේ ආචාර්‍ය්‍ය වීද, උන් වහන්සේ යම් දිසාවක වෙසේ නම් මම ඒ දෙසෙට හිස (දමා විසීම) කරමි.

’’ශාක්‍යසිංහවූ ගෞතම බුදුරජාණන් වහන්සේ මාගේ (කුශල) කර්‍මය සිහිකොට භික්‍ෂු සංඝයා මැද හිඳ මා අග්‍ර ශ්‍රාවක ස්ථානයෙහි තැබිය.

’’මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.

’’මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී’’

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක.

ශාරීපුත්‍ර ථෙරාපදානය නිමි.