අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

3. තතිය පණ්ණාසකය

(12) 2. පච්චොරොහණි වර්‍ගය

4. අජිත පරිබ්බාජක සූත්‍රය

ඉක්බිති අජිත පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතු, සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි අජිත පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට, ’’භවත් ගෞතමයන් වහන්ස, අපගේ පණ්ඩිත නම් සබ්‍රහ්මචාරී (සමාන පැවිදි) කෙනෙක් ඇත. ඔහු විසින් යමකින් අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ පරද්දන ලද්දාහු, පරදුණමුයි දනිත්ද, පන්සියයක් පමණ සිතේ ස්වභාවයන් සිතන ලද්දාහ’’ යි කීයේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. ’’මහණෙනි, තොපි පණ්ඩිත වස්තූන් ඉගෙණගනිව්.’’ ’’යමක් භාග්‍යවතුන් වහන්සේ වදාරණ සේක් නම්, ’ භාග්‍යවතුන් වහන්ස, ඊට කාලයයි. සුගතයන් වහන්ස, ඊට කාලයයි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරත්ය’ යි කීවාහුය. ’’මහණෙනි, එසේ නම් අසව්. හොඳට මෙනෙහි කරව්. කියන්නෙමි’’ යි වදාළ සේක. ’’ස්වාමීනි, එසේය’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් අධාර්මික වාදයෙන් අධාර්මික වාදය නිග්‍රහ කරයිද, පෙළයිද, ඉන් අධාර්මික පිරිස සතුටු කරයිද, එසේ හෙයින් ඒ අධාර්මික පිරිස, ’පින්වත, ඒකාන්තයෙන් පණ්ඩිතයෙක. පින්වත, ඒකාන්තයෙන් පණ්ඩිතයෙකැ’ යි උස් හඬ ඇත්තාහු, මහත් හඬ ඇත්තාහු වෙති.

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් අධාර්මික වාදයෙන් ධාර්මික වාදය නිග්‍රහ කරයිද, පෙළයිද, ඉනුත් අධාර්මික පිරිස සතුටු කරයිද, එයින් ඒ අධාර්මික පිරිස උස් හඬ ඇත්තාහු, ’ඒකාන්තයෙන් පණ්ඩිතය, ඒකාන්තයෙන් පණ්ඩිතය’ යි කියන්නාහ. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් අධාර්මික වාදයෙන් ධාර්මික වාදයද, අධාර්මික වාදයද නිග්‍රහ කරයිද, පෙළයිද, ඉන් අධාර්මික පිරිස සතුටු කරයිද, ඒ කරණකොටගෙන අධාර්මික පිරිස, ’ඒකාන්තයෙන් පින්වත් තෙමේ පණ්ඩිතය, ඒකාන්තයෙන් පින්වත් තෙමේ පණ්ඩිතය’ යි උස් හඬ ඇත්තාහු, මහත් හඬ ඇත්තාහු වෙත්. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ධෘර්මික වාදයෙන්, ධාර්මික වාදයද, අධාර්මික වාදයද නිග්‍රහ කරයිද, පෙළයිද, ’ඒකාන්තයෙන් පණ්ඩිතය, ඒකාන්තයෙන් පණ්ඩිතය’ යි ඒ අධාර්මික පිරිස උස්හඬ, මහත් හඬ ඇත්තාහු වෙත්. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ධාර්මික වාදයෙන්, ධාර්මික වාදය නිග්‍රහ කරයිද, පෙළයිද, ඉන් ධාර්මික පිරිස සතුටු කරවයිද, ඉන් ඒ ධාර්මික පිරිස සතුටු කරවයිද, ඉන් ඒ ධාර්මික පිරිස, ’ඒකාන්තයෙන් පින්වතා පණ්ඩිතය, ඒකාන්තයෙන් පින්වතා පණ්ඩිතය’ යි උස් හඬ, මහා හඬ ඇත්තාහු වෙත්.

’’මහණෙනි, අධර්‍මයද දතයුතුය, ධර්මයද දතයුතුය -මහණෙනි, අධර්මයද, අනර්ත්‍ථයද කවරේද, වැරදි දැකීම, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි සමාධිය, වැරදි දැනුම, වැරදි මිදීමය. මහණෙනි, මේ අධර්මයද, අනර්ත්‍ථයද වේ.