අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. ථෙර වර්‍ගය

3. පුණ්ණිය සූත්‍රය

ඉක්බිති ආයුෂ්මත් පුණ්ණිය ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් පුණ්ණිය ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, සමහර දිනයන්හි, යම් කරුණකින් තථාගතයන් වහන්සේට ධර්ම දේශනාවෙහි සිත නැමෙයිද, සමහර දවසක සිත නොනැමේදැ’’ යි ඇසීය.

’’පුණ්ණිය භික්‍ෂුව ශ්‍රද්‍ධාවත්වේද, නොඑළඹෙන්නේ වේද, ඒතාක් තථාගතයන් වහන්සේට ධර්ම දේශනාවෙහි සිත නොනැමෙයි. පුණ්ණිය, යම් තැනක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, එළඹෙනසුළුත් වේද, මෙසේ තථාගතයන්ට ධර්ම දේශනාවෙහි සිත නැමෙයි.

’’පුණ්ණිය, භික්‍ෂුව ශ්‍රද්‍ධාවත් වූවත්, එළඹෙනසුළුවූවත්, ආශ්‍රය නැද්ද, ඒතාක් තථාගතයන් වහන්සේට ධර්ම දේශනාවෙහි සිත නොනැමෙයි. ආශ්‍රය ඇතත්, අසන ස්වභාවය නැද්ද, ඒතාක් තථාගතයන් වහන්සේට ධර්ම දේශනාවෙහි සිත නොනැමෙයි. ඇසුවත්, යොමු කරණ ලද කන් ඇතිව බණ නොඅසයිද, ඒතාක් තථාගතයන් වහන්සේට ධර්ම දේශනාවෙහි සිත නොනැමෙයි. යොමු කරණ ලද කන් ඇතිව ඇසුවත්, අසා බණ නොදරයිද, ඒතාක් තථාගතයන් වහන්සේට ධර්ම දේශනාවෙහි සිත නොනැමෙයි. අසා බණ දැරුවත්, දරණ ලද ධර්‍මයන්ගේ අර්ත්‍ථය පරීක්‍ෂා නොකරයිද, ඒතාක් තථාගතයන් වහන්සේට ධර්ම දේශනාවෙහි සිත නොනැමෙයි. දරණ ලද ධර්‍මයන්ගේ අර්ත්‍ථය පරීක්‍ෂා කළත්, අර්ත්‍ථය දැන, ධර්‍මය දැන, ධර්මයට අනුව පිළි නොපදීද, ඒතාක් තථාගතයන් වහන්සේට ධර්ම දේශනාවෙහි සිත නොනැමෙයි. අර්ත්‍ථය දැන, ධර්‍මය දැන, පිළිපැද්දත්, යහපත් ප්‍රකාශ කිරීම් ඇත්තේ නොවේද, ඒතාක් තථාගතයන් වහන්සේට ධර්ම දේශනාවෙහි සිත නොනැමෙයි. යහපත් ප්‍රකාශ කිරීම් ඇතත්, හඬ සහිත, කෙළතොළු නොවූ, අර්ත්‍ථය හඟවන, නාගරික වචනයෙන් සුන්දර වචන ඇත්තේ නොවේද, ඒතාක් තථාගතයන් වහන්සේට ධර්ම දේශනාවෙහි සිත නොනැමෙයි. හඬ සහිත, කෙළතොළු නොවූ, අර්ථය අඟවන, නාගරික වචනයෙන් සුන්දර වචන ඇත්තේ, සබ්‍රම්සරුන්ට මනාව නොදක්වන්නේ වේද, සමාදන් නොකරවන්නේ වේද, තෙද නොගන්වන්නේ වේද, සතුටු නොකරන්නේ වේද, ඒතාක් තථාගතයන් වහන්සේට ධර්ම දේශනාවෙහි සිත නොනැමෙයි.

’’පුණ්ණිය, යම් තැනක සිට මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, එළඹෙන්නේ වේද, ආශ්‍රය කරන්නේ වේද, අසන්නේ වේද, කන් යොමු කෙරේද. අසා ධර්‍මය දරයිද, දැරූ ධර්‍මයන්ගේ අර්ත්‍ථය පරීක්‍ෂා කරයිද, අර්ත්‍ථය දැන, ධර්‍මය දැන, ධර්‍මය අනුව පිළිපදියිද, යහපත් වචන ඇත්තේ වේද, හඬ සහිත, කෙළතොළු නොවූ, අර්ත්‍ථය හඟවන නාගරික වචනයෙන් සබ්‍රම්සරුන් මනාකොට පෙන්වන්නේ, සමාදන් කරවන්නේ, තෙදගන්වන්නේ, සතුටු කරන්නේ වේද, පුණ්ණිය, මේ ධර්‍ම දහයෙන් යුක්තවූ ධර්‍ම දේශනාවෙහි තථාගතයන් වහන්සේට ඒකාන්තයෙන් සිත නැමෙන්නේ වේ.’’