අංගුත්තර නිකාය
දුක නිපාතය
පළමුවෙනි පණ්ණාසකය
2. දෙවෙනි පණස
7. සුඛ වර්ගය
පබ්බජ්ජා සුඛ සූත්‍රය:—1 “මහණෙනි, මේ සැපයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
2. “ගිහි සැපයද පැවිදි සැපයද (යන දෙක) වෙත්.
3. “මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්.
4. “මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ පැවිදි සැපයක් වේද මේ සැපය අග්‍රය”
(මේ වර්ගයේ සියලු සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 1 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)
නෙක්ඛම්ම සුඛ සූත්‍රය:—2 “කාමසැපයද නෛෂ්ක්‍රමය සැපයද (යන දෙදෙනා) වෙත්.
4. “මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ නෛෂ්ක්‍රමය සැපයක් වේද මේ සැපය අග්‍රයි.”
නිරුපධි සූත්‍රය:—2. ‘ලෞකික සැපයද ලොකොත්තර සැපයද (යන දෙදෙන) වෙත්.
4. “මේ ද්විවිධවූ සැපයන් අතුරෙන් යම් මේ ලොකොත්තර සැපයක් වේද මේ සැපය අග්‍රයි.”
අනාසව සුඛ සූත්‍රය:—2. ආශ්‍රව සහිතවූ (සංසාර) සැපයද ආශ්‍රව රහිතවූ (නිර්වාණ) සැපයද (යන දෙදෙන) වෙත්. මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ අනාසව සැපයක් වේද මේ සැපය අග්‍රයි”
නිරාමිස සුඛ සූත්‍රය:—2. “කාමාදී ආශ්‍රව සහිත සැපයද කාම රහිත (නික්ලෙශීවූ) නිවන් සැපයද (යන දෙදෙන) වෙත්.
4. “මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ නිරාමිස සැපයක් වේද මේ සැපය අග්‍රයි.”
අරිය සුඛ සූත්‍රය:—2. “ආර්‍ය්‍යයන් පිළිබඳ සැපයද අනාර්‍ය්‍ය (පෘථග්ජන) යන් පිළිබඳ සැපයද (යන දෙදෙන) වෙත්.
4. “මේ සැපයන් දෙදෙන අතුරෙන් යම් මේ ආර්‍ය්‍ය සැපයක් වේද මේ සැපය අග්‍රය”
චෙතසික සුඛ සූත්‍රය-2 “කය පිළිබඳ සැපයද චෛතසික සැපයද (යන දෙදෙන) වෙත්.
4. “මේ සැපයන් දෙදෙන අතුරෙන් යම් මේ චෛතසික සැපයක් වේද මේ සැපය අග්‍රයි.”
නිප්පීතික සුඛ සූත්‍රය:—2. “ප්‍රීතිසහගත සැපයද ප්‍රීතිරහිත (නිෂ්ප්‍රීතික) සැපයද යන දෙකයි.
4. “මේ විවිධවූ සැපයන් අතුරෙන් යම් මේ ප්‍රීතිසහගත සැපයක් වේද මේ සැපය අග්‍රයි.”
උපෙක්ඛා සුඛ සූත්‍රය:—2 ‘ප්‍රථම ද්විතීය තෘතීය ධ්‍යානයන් පිළිබඳ සාත සැපයද (චතුර්ථද්ධ්‍යානය පිළිබඳ) උපෙක්ෂා සැපයද (යන දෙදෙන) වෙත්.
4. “මේ සැපයන් දෙදෙන අතුරෙන් යම් මේ (චතුර්ථධ්‍යානය පිළිබඳ) උපෙක්ෂා සැපයක් වේද, මේ සැපය අග්‍රය.”
සමාධි සුඛ සූත්‍රය:—2 සමාධි (සහිත) සැපයද අසමාධි (සහිත) සැපයද යන දෙදෙන වෙත්.
4. “මේ සැපයන් දෙදෙන අතුරෙන් යම් මේ සමාධි සැපයක් වේද, මේ සැපය අග්‍රයි.”
නිප්පීතිකාරම්මණ සුඛ සූත්‍රය:—2 “ප්‍රීතිය අරමුණු කොට උපන් (ප්‍රථම ද්විතීයධ්‍යාන) සැපයද ප්‍රීතියෙන් පහව උපන් (තෘතීය චතුර්ථධ්‍යාන) සැපයද (යන දෙදෙන වෙත්)
4. “මේ සැපයන් දෙදෙන අතුරෙන් යම් මේ ප්‍රීති විරහිත සැපයක් වේද, මේ සැපය අග්‍රය.”
උපෙක්ඛාරම්මණ සුඛ සූත්‍රය:—2 ‘සාතාරම්මණවූ (ප්‍රථමාදි ත්‍රිවිධ ධ්‍යානයන් අරමුණු කොට උපන්) සැපයද (චතුර්ථධ්‍යානය අරමුණු කොට උපන්) උපෙක්ඛාරම්මණ සැපයද (යන දෙදෙන) වෙත්.
4. “මේ සැපයන් දෙදෙන අතුරෙන් යම් මේ උපෙක්ෂාරම්මණ සැපයක් වේද, මේ සැපය අග්‍රය.”
අරූපාරම්මණ සුඛ සූත්‍රය:—2. “(රූපාවචර චතුර්ථ ධ්‍යානය අරමුණුකොට) රූපයන් අරභයා උපන් සැපයද (අරූපාවචර ධ්‍යානයන් අරමුණුකොට) අරූපයන් අරභයා උපන් සැපයද (යන දෙදෙන) වෙත්.
4. “මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ අරූප ධ්‍යානයන් අරමුණුකොට උපන් සැපයක් වේද, මේ අග්‍රය.”
(දෙවෙනි වර්ගය නිමි.)