අංගුත්තර නිකාය

එක නිපාතය

11. සම්බොධි වර්ගය

111. පඨම කම්මනිදාන සූත්‍රය

“මහණෙනි, කර්මයන්ගේ රැස්වීමට හෙතු තුනක් වෙත්. කවර තුනක්ද? ලොභය කර්මයන්ගේ රැස්වීමට හෙතුවකි. ද්වේෂය කර්මයන්ගේ රැස්වීමට හෙතුවකි. මොහය කර්මයන්ගේ රැස්වීමට හෙතුවකි.

“මහණෙනි, ලොභයෙන් කරනලද ලොභයෙන් උපන් ලොභය නිදානකොට ඇති, ලොභය සමුදයකොට ඇති යම් කර්මයක් වෙයිද ඒ කර්මය අකුසලකි. ඒ කර්මය වරදකි. ඒ කර්මය දුක් විපාක ඇත්තකි. ඒ කර්මය තවත් කර්මයන්ගේ රැස්කිරීම පිණිස පවතියි. ඒ කර්මය කර්ම නැතිකිරීම පිණිස නොපවතියි.

(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදයේ ‘ලොභය’ වෙනුවට ‘ද්වේෂය’ කියා යෙදීමෙන් සාදාගත යුතුයි.)

(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදයේ ‘ලොභය’ වෙනුවට ‘මොහය’ කියා සාදාගත යුතුයි.)

දුතිය කම්මනිදාන සූත්‍රය

මහණෙනි, කර්මයන්ගේ රැස්වීම පිණිස හෙතු තුනකි. කවර තුනක්ද? අලොභය කර්මයන්ගේ රැස්වීම පිණිස හෙතුවකි. අද්වෙෂය කර්මයන්ගේ රැස්වීම පිණිස හෙතුවකි. අමොහය කර්මයන්ගේ රැස්වීම පිණිස හෙතුවකි.

“මහණෙනි, අලොභයෙන් කරනලද අලොභයෙන් උපන් අලොභය නිදාන කොට ඇති අලොභය සමුදය කොට ඇති යම් කර්මයක් වෙයිද ඒ කර්මය කුසලකි. ඒ කර්මය නිවරදකි. ඒ කර්මය සැපවිපාක ඇත්තකි. ඒ කර්මය කර්ම නැතිකිරීම පිණිස පවතී. කර්ම රැස්කිරීම පිණිස නොපවතී.

(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදයේ ‘ලොභය’ වෙනුවට ‘ද්වේෂය’ කියා සාදාගත යුතුයි.)

(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදයේ ‘ලොභය’ වෙනුවට ‘මොහය’ කියා යෙදීමෙන් සාදාගත යුතුයි.)