අංගුත්තර නිකාය
එක නිපාතය
12. ආපායික වර්ගය
116. අරිය පුථුජ්ජන සූත්‍රය
“මහණෙනි, ලොකයෙහි මේ පුද්ගලයෝ තුන්දෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද?
“මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු ආකාරයෙන් රූප සංඥා ඉක්මවා ද්වාරාරම්මණ වශයෙන් ගැටීම් ස්වභාවය ඇති රූප සංඥා දුරුකොට නානත්ත සංඥා නොමෙනෙහි කිරීමෙන් ආකාසය අනන්තයයි මෙනෙහි කොට ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම ඒ ධ්‍යානය ආශ්වාදය කරයි ඊට කැමති වෙයි. එයින් සතුටට පැමිණෙයි. එහි සිට ඒ අදහසින් යුක්තව එය බහුල කොට වාසය කිරීමෙන් ධ්‍යානයෙන් නොපිරිහී කාලක්‍රියා කරනුයේ ආකාසානඤ්චායතන දෙවියන් හා එක්වීමට පැමිණෙයි. මහණෙනි, ආකාසානඤ්චායතන දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය මහාකල්ප විසිදහසක් වෙයි. පෘථග්ජන තෙම එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය යම් තාක්ද ඒ සියල්ල ගෙවා නිරයටද පැමිණෙයි. තිරිසන් අපායටද පැමිණෙයි. ප්‍රෙතවිෂයටද පැමිණෙයි.
“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක තෙමේ වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුෂ යම්තාක්ද ඒ සියල්ල ගෙවා එම භවයෙහිම පිරිනිවෙන්නේය. මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ හා අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ගතියෙහි උත්පත්තියෙහි මේ විශෙෂය වෙයි, මේ අභිප්‍රාය වෙයි. මේ නානත්වය වෙයි.
“මහණෙනි, තවද මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු ආකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි මෙනෙහිකොට විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම එය ආශ්වාදය කරයි. ඊට කැමති වෙයි, එයින් සතුටට පැමිණෙයි. එහි සිට එහි නැමුණු අදහස් ඇතිව එය බහුල කිරීමෙන් විඤ්ඤාණඤ්චායතන දෙවියන් හා එක්වීමට පැමිණෙයි. මහණෙනි, විඤ්ඤාණඤ්චායතන දෙවියන්ගේ ආයුෂප්‍රමාණය මහාකල්ප සතලිස් දහසක් වෙයි. එහි පෘථග්ජන තෙම ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුෂප්‍රමාණය යම්තාක්ද ඒ සියල්ල ගෙවා නිරයටද පැමිණෙයි. තිරිසන් යොනියටද පැමිණෙයි. ප්‍රෙත විෂයටද පැමිණෙයි. භාග්‍යවතුන්ගේ ශ්‍රාවකතෙම එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුෂප්‍රමාණය යම්තාක්ද ඒ සියල්ල ගෙවා ඒ භවයෙහිම පිරිනිවෙන්නේය. මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ හා අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ගතියෙහි උත්පත්තියෙහි මේ වෙනසයි මේ අභිප්‍රායයි මේ නානත්වයයි.
“මහණෙනි, තවද මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි මෙනෙහිකොට ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. හෙතෙම එය ආශ්වාදය කරයි, ඊට කැමති වෙයි. එයින් සතුටට පැමිණෙයි. එහි සිට එහි නැමුණු අදහස් ඇතිව එය බහුල කිරීමෙන් ධ්‍යානයෙන් නොපිරිහී කාලක්‍රියාකොට ආකිඤ්චඤ්ඤායතන දෙවියන් හා එක්වීමට පැමිණෙයි මහණෙනි, ආකිඤ්චඤ්ඤායතන දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය මහාකල්ප සැටදහසකි. එහි පෘථග්ජනතෙම ආයු ඇතිතාක් කල් සිට ඒ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය යම්තාක්ද ඒ සියල්ල ගෙවා නිරයටද පැමිණෙයි, තිරිසන් යොනියටද පැමිණෙයි. ප්‍රෙතවිෂයටද පැමිණෙයි. භාග්‍යවතුන්ගේ ශ්‍රාවකතෙම වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුෂප්‍රමාණය යම්තාක්ද ඒ සියල්ල ගෙවා ඒ භවයෙහිම පිරිනිවෙන්නේය.
“මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේත් අශ්‍රැතවත් පෘථග්ජනයාගේත් ගතියෙහි හා උත්පත්තියෙහි මේ වෙනස මේ අභිප්‍රාය මේ නානත්වය වන්නේය.”