අංගුත්තර නිකාය

එක නිපාතය

13. භාරංඩු (හෝ) කුසිනාරා වර්ගය

127. හත්ථක දෙවපුත්ත සූත්‍රය

“මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි හත්ථක නම් බ්‍රහ්ම දිව්‍ය පුත්‍ර තෙමේ යහපත් රාත්‍රියක ශොභාමත් ශරීර වර්ණ ඇතිව මුළු ජේතවනාරාමය ආලොක කොට භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි සිටින්නෙමියි ගිලෙන්නේද මතුවන්නේද වෙයි. පිහිටීමට නොහැකිවෙයි. යම්සේ ගිතෙල් හෝ තෙල් හෝ වැල්ලෙහි ඉසින ලද්දේ ගිලෙන්නේත් මතුවන්නේත් වේද, එමෙන් හත්ථක දෙව පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි සිටින්නෙමියි ගිලෙන්නේද මතුවන්නේද වෙයි. පිහිටීමට නොහැකි වෙයි.

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හත්ථක බ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාට “හත්ථකය, ඖදාරික ආත්මභාවයක් මවා ගනුවයි.” වදාළේය. -“ස්වාමීනි, එසේයයි” හත්ථක බ්‍රහ්ම දෙවපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී ඖදාරික ආත්ම භාවයක් මවා භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටියාවූ හත්ථක දිව්‍ය පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

“හත්ථක, පෙර මනුෂ්‍යව වාසය කරද්දී ඉගෙන ගත් යම් ධර්ම තොපට වූවාහු නම් ඒ ධර්මයෝ තොපට දැනුදු ධාරණව පවත්නාහුද?” යනුයි.

“ස්වාමීනි, පෙර මනුෂ්‍යවූ මාහට යම් ධර්මයෝ ධාරණව පැවැත්තාහුද ඒ ධර්මයෝ දැනුදු මට ධාරණව ඇත්තාහුය. පෙර මනුෂ්‍යවූ මා හට යම් ධර්මයෝ ධාරණව නොපැවැත්තාහුද ඒ ධර්මයෝ දැන් මාහට ධාරණව ඇත්තාහුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් භික්ෂූන්ගේ භික්ෂුණීන්ගෙන් උපාසකයන්ගෙන් උපාසිකාවන්ගෙන් රජුන්ගෙන් රාජ මහා මාත්‍යයන්ගෙන් තීර්ථකයන්ගෙන් තීර්ථක ශ්‍රාවකයන්ගෙන් ආකීර්ණව වාසය කරනසේක්ද, ස්වාමීනි, එසේම මම දිව්‍ය පුත්‍රයන්ගෙන් ආකීර්ණව වාසය කරමි. ස්වාමීනි, දුර සිටද දිව්‍ය පුත්‍රයෝ හත්ථක දිව්‍ය පුත්‍රයාගෙන් ධර්මය අසන්නෙමැයි පැමිණෙත්. ස්වාමීනි, මම කරුණු තුනකින් තෘප්තියක් නැතිව සෑහීමක් නැතිව කාලක්‍රියා කෙළෙමි. කවර තුනකින්ද ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ දැකීමෙන් ඇතිවීමක් සෑහීමක් නැතිව කාලක්‍රියා කෙළෙමි. ස්වාමීනි, මම ධර්ම ශ්‍රවණ කිරීමෙහි තෘප්තියක් සෑහීමක් නැතිව කාලක්‍රියා කෙළෙමි. ස්වාමීනි, මම සංඝයාට උපස්ථාන කිරීමෙහි තෘප්තියක් නැතිව ඇතිවීමක් නැතිව කාලක්‍රියා කෙළෙමි. ස්වාමීනි, මම මේ තුන් ධර්මයන්ගේ තෘප්තියක් සෑහීමක් නැතිව කාල ක්‍රියා කෙළෙමි.

“මම භාග්‍යවතුන් වහන්සේගේ දැක්මෙහිද සංඝයාට උපස්ථාන කිරීමෙහිද බණ ඇසීමෙහිද, කිසිකලෙක තෘප්තියට නොපැමිණියෙමි.

“අධිශීලයෙහි හික්මෙන්නාවූ ධර්ම ශ්‍රවණයෙහි ඇලුණාවූ ධර්ම තුනකින් තෘප්තියක් නැත්තාවූ හත්ථක තෙමේ අවිහ බඹලොවට ගියේය.”